රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම

 

මෙහෙයුම් උපදෙස්

24.07.2020 මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/003 රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා සපයනු ලබන ද්‍රවශීලතා පහසුකම
03.07.2020 මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/002 'කොන්ත්‍රාත්කරුවන්ගේ නොපියවූ බිල්පත් ගෙවීමට අදාලව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ප්‍රතිග්‍රාහක ලිපිය' මත පදනම්ව ඉදිකිරීම් අංශය සඳහා සපයනු ලබන ද්‍රවශීලතා පහසුකම
18.06.2020 මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/001

රජය විසින් නිකුත් කරන ලද පොරොන්දු නෝට්ටු/ඇපකර මත ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දෙනු ලබන ද්‍රවශීලතා පහසුකම

(03.07.2020 වැනි දින සංස්කරණය කරන ලදි)

 

වෙනත් අදාළ තොරතුරු

  1. 2020 ජූනි 29 දිනැති භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ අංක: 01/2020 http://www.treasury.gov.lk/treasury-operations-department
  2. ණය ගිවිසුම - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා දැනටමත් නිකුත් කර ඇත.
  3. භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ඔඩපන ගිවිසුම - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා දැනටමත් නිකුත් කර ඇත.
  4. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන ඔඩපන ගිවිසුම - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා දැනටමත් නිකුත් කර ඇත.
  5. AS 400 පද්ධතිය සඳහා ණය පහසුකමේ තොරතුරු ඇතුළත් කිරීමේ පියවර (මෙතැනින් බලන්න)
  6. මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතිය සඳහා වන මෙහෙයුම් අත්පොත (මෙතැනින් බලන්න)
  7. 2020 අංක 6 දරන බැංකු සඳහා නිකුත් කරන ලද නියෝග https://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-banks

 

නිති ඇසෙන ප්‍රශ්න

1.

මෙම ද්‍රවශීලතා පහසුකම සැපයීමෙහි අරමුණ කුමක්ද?

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අහිතකර ලෙස බලපෑමට ලක් වූ ඉදිකිරීම්, ඖෂධ සහ අනෙකුත් හඳුනා ගත් අංශවල රජයේ නො පිය වූ බිල්පත් සහිත කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට වාණිජ බැංකු හරහා අරමුදල් සැපයීම

2.

රජයේ භාණ්ඩාගාරයෙන් නො පිය වූ බිල්පත් ගෙවීමට අදාළ ප්‍රතිග්‍රාහක ලිපි ලැබීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

ඉදිකිරීම්, ඖෂධ හා අනෙකුත් හඳුනා ගත් අංශවල රජය වෙනුවෙන් සපයන ලද සේවා සඳහා නො පිය වූ බිල්පත් සහිත කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් 

3.

සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන් තෝරාගනු ලබන්නේ කවුරුන් විසින් ද?

අදාළ අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු විසින්

4.

කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය කුමක්ද?

2020 ජුනි 29 වැනි දින භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර මෙහෙයුම්  අංක 01/2020 “ඉදිකිරීම් හා අනෙකුත් අංශයන්හි රජයේ කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන්ට සපයන ලද ආර්ථික පුනර්ජීවන සහන සඳහා පහසුකම් සැලසීම” නමැති චක්‍රලේඛය මත පදනම් වේ. පහත වෙබ් සබැඳිය පරිශීලනය කරන්න.
http://www.treasury.gov.lk/treasury-operations-department

5.

ප්‍රතිග්‍රාහක ලිපිය කවුරුන් විසින් කා වෙත නිකුත් කරනු ලැබේ ද?

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට පිටපතක් ද සහිත ව නම් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ප්‍රතිග්‍රාහක ලිපිය නිකුත් කරනු ලැබේ.

6.

ප්‍රතිග්‍රාහක ලිපිය ලබාගත හැක්කේ කිනම් ආයතන හරහාද?

අදාළ රජයේ රේඛීය අමාත්‍යාංශය හෝ රජයේ දෙපාර්තමේන්තුව මගින්

7.

නම් කරන ලද බැංකු ගිණුම යනු කුමක්ද?

කොන්ත්‍රාත්කරු හෝ සැපයුම්කරු විසින් ණය මුදල ලබාගැනීම සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශය හෝ රජයේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ගිණුම

8.

එකම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ගැනුම්කරු දැනටමත් බලපත්‍රලාභී වාණිජ බැංකුවකින් ණය ලබාගෙන එය නොපියවූ අවස්ථාවකදී එම ව්‍යාපෘතියට නැවත වරක් ණය ලබාදීමට වාණිජ බැංකුවකට හැකියාව තිබේද?

නොපියවූ ගෙවීම් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් දැනටමත් වට්ටම් කිරීම් සඳහා එකඟ වූ වටිනාකම් ගැලපූ පසු කොන්ත්‍රාත්කරු හෝ සැපයුම්කරුගේ නොපියවූ බිල්පත්වල වටිනාකමට සමාන මුදලක් සහිතව මහා භාණ්ඩාගාරය ප්‍රතිග්‍රාහක ලිපි නිකුත් කරනු ලබයි. ඒ අනුව ප්‍රතිග්‍රාහක ලිපි සහිත ණය ගැනුම්කරුවකු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් මෙම ද්‍රවශීලතා පහසුකම ලැබීමට සුදුසුකම් ලබන අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු, මෙම පහසුකම යටතේ සපයනු ලබන ණය, මෙහෙ‍යුම් උපදෙස් මගින් හඳුනාගෙන ඇති අංශ සඳහා පමණක් ලබාදෙන බව තහවුරු කරගත යුතුය.

9.

කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම යටතේ එක් ණය ගැනුම්කරුවකු සඳහා ලබාගත හැකි උපරිම ණය සීමාව කුමක්ද?

ප්‍රතිග්‍රාහක ලිපිය සහිත ණය ගැනුම්කරුවකුහට සියයට 4 නොඉක්මවූ පොලී අනුපාතිකයකට නම් කරන ලද බැංකුවකින් ප්‍රතිග්‍රාහක ලිපියේ සඳහන් මුදල දක්වා වූ ණය ප්‍රමාණයක් ලබාගත හැකිය.

10.

කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අරමුදල් ලබාගත හැකි පොලී අනුපාතිකය කුමක්ද?

සියයට 1 ක වාර්ෂික සහනාදයී පොලී අනුපාතිකයක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත අරමුදල් සපයනු ලැබේ.

11.

කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අරමුදල් සපයනු ලබන ණය සඳහා වන සියයට 1 ක වාර්ෂික පොලී අනුපාතික අරමුදල් සම්පූර්ණ වශයෙන් ගෙවා නිම වන තෙක් බලපැවැත්වේද?

සියයට 1 ක වාර්ෂික පොලී අනුපාතය දින 180 ක කාලසීමාව සඳහා නොවෙනස්ව පවතී.

12.

කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම යටතේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා බලපැවැත්වෙන උපරිම පොලී අනුපාතිකය කුමක්ද?

උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 4 කි.

13.

ණය ගැනුම්කරුවන්ගේ උපරිම ණය ගෙවීම් කාලසීමාව කුමක්ද?

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් විචක්ෂණශීලී ලෙස ණය සැපයීම කළ යුතුය. භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ප්‍රතිග්‍රාහක ලිපියේ සඳහන් පරිදි නොපියවූ බිල්පත්වල වටිනාකම 2020.12.31 දිනට පෙර නම් කරන ලද බැංකු ගිණුම් වෙත පියවීම සිදු කරන බවට තහවුරු කර ඇත.

14.

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රදානය කරනු ලැබූ ණය සඳහා අදාළ පොලිය සුරක්ෂිත කර ගැනීම සඳහා ප්‍රතිග්‍රාහක ලිපියෙන් යම් ආන්තිකයක් (Margin) රඳවා ගත හැකිද?

මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු ණය සැපයීමේදී සාමාන්‍යයෙන් අදාළ වන විචක්ෂණශීලී ක්‍රමවේද භාවිතා කළ යුතු වේ.

15.

බලපත්‍රලාභී වාණිජ බැංකු ණය මුදාහැරිය යුත්තේ කවර අවස්ථාවකද?

මෙම ද්‍රවශීලතා පහසුකම යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විචක්ෂණශීලීව ණය ප්‍රදාණය කොට මහ බැංකුවෙන් අරමුදල් ඉල්ලුම් කළ හැකිය. එසේත් නැතිනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් ලැබී සතියක් ඇතුළතදී බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන් සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කළ යුතුය.

16.

මෙම ද්‍රවශීලතා පහසුකම යටතේ ණය නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට කොපමණ කාලයක් ගත වේද?

මෙහෙයුම් උපදෙස්වල සඳහන් අවශ්‍යතාවන් සපුරා ඇත්නම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් ව්‍යාපාර දිනයක් ඇතුළත ණය මුදල් නිකුත් කරනු ලබයි. අදාළ පරිදි අවශ්‍යතා නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් මධ්‍යහ්න 12 ට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබීමට සැලසුවහොත් එදිනම ණය මුදල් නිකුත් කරනු ලබයි.

17.

බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් ණය මුදල් නැවත පියවීමට කොපමණ කාලයක් ලබා දෙන්නේද?

මෙම ද්‍රවශීලතා පහසුකම දින 180 ක කාලයක් සඳහා ලබාදෙන බැවින් ණය මුදල් මුදාහැර දින 180 කින් අදාළ මූලික මුදල හා පොලිය වාණිජ බැංකුවේ පියවීම් ගිණුමෙන් අයකර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරනු ලැබේ.

18.

ගනුදෙනුකරු විසින් වාණිජ බැංකුවට පොලී ගෙවිය යුත්තේ මාසිකවද?

මෙහිදී වාණිජ බැංකුවලට ණය සැපයීමේදී සාමාන්‍යයෙන් අදාළ වන විචක්ෂණශීලී ක්‍රමවේද භාවිතා කළ හැකිය.

19.

සියයට 4 ක වාර්ෂික පොලී අනුපාතය යටතේ, දින 180 ක කාලයක් සඳහා වන සම්පූර්ණ පොලී මුදල, ගනුදෙනුකරුට ණය මුදල් නිකුත් කරන අවස්ථාවේදීම එකවර අය කරගත හැකිද?

ගනුදෙනුකරුගේ එකඟතාවය මත එලෙස පොලී මුදල අයකර ගැනීමට බැංකුවට හැකියාව ඇත.

20.

රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට/සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිඟ මුදල් කලින් පියවීම් සිදු කළ විටකදී, වාණිජ බැංකුව විසින් කුමක් කළ යුතුද?

වාණිජ බැංකුව විසින් අදාළ දින දක්වා ගණනය කරන ලද පොලිය ද ඇතුළත්ව සම්පූර්ණ මුදලම ශ්‍රී ලංකා මහ බැංකුවට පියවීමට වහාම කටයුතු කළ යුතුය.

21.

දින 180 අවසන් වූ පසුත්, ප්‍රතිග්‍රාහක ලිපියට අදාළ මුදල් රජයෙන් නොලැබුණහොත් ද්‍රවශීලතා පහසුකම නැවත ලබාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

භාණ්ඩාගාරය විසින් ගෙවිය යුතු හිඟ මුදල් 2020.12.31 දිනට හෝ ඊට පෙර නම් කරන ලද බැංකු ගිණුම්වලට බැර කරන බවට සහතිකයක්, ප්‍රතිග්‍රාහක ලිපිය මගින් ලබාදී ඇත. කෙසේ වෙතත්, නොපියවූ ගෙවීම් සඳහා නව ප්‍රතිග්‍රාහක ලිපි කොන්ත්‍රාත්කරුවන්/සැපයුම්කරුවන් වෙත නිකුත් කිරීමට රජය තීරණය කළහොත්, මුල් ද්‍රවශීලතා පහසුකම පරිණත වන දිනම, පෙර පරිදිම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ආවරණය වූ නව පොරොන්දු නෝට්ටුවක් ලබාදීමට යටත්ව නව ද්‍රවශීලතා පහසුකමක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරනු ලබයි.

22.

මෙම ද්‍රවශීලතා පහසුකම යටතේ ණය ලබාදීමේදී වාණිජ බැංකු වෙතින් ඇපකර වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගන්නා සුරැකුම් කවරේද?

වාණිජ බැංකුවලට අයත් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර පමණක් සුරැකුම් ලෙස භාවිත කළ හැකිය.

23.

මෙහිදී සුරැකුම්පත්, ඇපකර වශයෙන් ලබාදීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කවරේද?

සුරැකුම්පත් ඇපකර වශයෙන් තැබීම, දැනටමත් ක්‍රියාත්මක වන විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදු කළ යුතු අතර, එය විවට වෙළඳපොළ කටයුතු සඳහා සුරැකුම්පත් ඇපකර වශයෙන් තැබීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටියට සමාන වේ.

24.

මෙම ද්‍රවශීලතා පහසුකම ලබාගැනීම සඳහා අයදුම් කිරීමේදී, ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කවරේද?

වාණිජ බැංකු විසින් ද්‍රවශීලතා පහසුකම සඳහා අයදුම් පත්‍රයත් සමඟ පහත සඳහන් ලේඛන ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කළ යුතුය.

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ණය ගිවිසුම හා සම්පූර්ණ කරන ලද ඇමුණුම්
  2. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඇප ගිවිසුම/ගිවිසුම්
25.

ඉහත ලේඛන ලබාගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු විසින් ලබාදිය යුතු සියලුම ලේඛන, තොරතුරු (ආකෘති පත්‍ර III සඳහා වන මෙහෙයුම් උපදෙස් ද ඇතුළත්ව) සහ විමසීම් විස්තර සියලුම වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත 2020.07.23 දින යොමු කොට ඇත.

26.

මෙම ද්‍රවශීලතා පහසුකම සම්බන්ධ තොරතුරු විමසීම

   1. ද්‍රවශීලතා පහසුකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වැඩිදුර තොරතුරු විමසීමට:
       - දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව (011-2477626, 011-2477044)

   2. ප්‍රතිග්‍රාහක ලිපිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර විමසීමට;
       - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව (011-2484729)