ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.4ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක් හා වසර 10ක  පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙලින් 2024 මාර්තු 14 සහ 2029 මාර්තු 14 යන කල් පිරීම් දින සහිත ව 2019 මාර්තු 07 වැනි දින  නිකුත් කරන ලදී.  මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s ) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙලින් ‘B2’ , ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කර තිබේ.  

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැදුම්කර වෙළෙඳපො‍ළෙහි ශ්‍රී ලංකාව සිදු කළ දහතුන්වන එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරන අතර, එ මගින්  වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩ ව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කෙරේ.  මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ  පොත් පවත්වාගන්නන් (Bookrunners) ලෙස බී ඕ සී ඉන්ටර්නැෂනල් (BOC International),  සිටිගෲප් (Citygroup), ඩොයි‍ෂෙ බෑන්ක් (Deutsche Bank), එච් එස් බී සී (HSBC), ජේ පී මෝර්ගන් (J P Morgan), එස් එම් බී සී නිකෝ (SMBC Nikko)  හා ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කළේ ය.  

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාව මගින් ඇති වූ ධනාත්මක ප්‍රවණතාව වාසිදායක ලෙස යොදා ගනිමින් සහ ශක්තිමත් වෙළෙඳපොළ පසුබිම උපයෝගී කර ගනිමින් ආසියානු කලාපයේ 2019 මාර්තු 07 වැනි දින උදෑසන ශ්‍රී ලංකාව විසින් ගනුදෙනුව නිවේදනය කරන ලදී.  ඒකාබද්ධ හවුල්කාරීත්වය විසින් මෙම නව, වසර 05ක සහ වසර 10ක පරිණත කාලය සහිත ණය කාණ්ඩ සඳහා පිළ‍ිවෙළින් 7.20%ක් සහ 8.20%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. අනතුරු ව, පුළුල් පරාසයක පැතිරුණු ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආයෝජකයන්ගේ දැඩි උනන්දුව හේතු කොට වසර 5ක පරිණත කාලය සඳහා 6.90%ක් දක්වාත් (+/- පදනම් අංක 5ක්) සහ වසර 10 ක පරිණත කාලය සඳහා 7.90% දක්වාත් (+/- පදනම් අංක 5ක්) මිල මාර්ගෝපදේශන දැඩි කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.  අවසානයේ දී, වසර 5 සහ වසර 10 ණය කාණ්ඩ දෙක සඳහා ම බැඳුම්කර මිලකරණය  නිව්යෝර්ක් වෙළෙඳපොළ සක්‍රීය කාල පරාසය තුළ දී පිළිවෙළින්  6.85%ක සහ 7.85%ක ඵලදා අනුපාත සහිත ව මූලික මිල මාර්ගෝපදේශයට වඩා පදනම් අංක 25කට වඩා අඩු අගයකින් සිදු කළේ ය.  

අවසාන ඇණවුම් පොතෙහි වසර 5හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190ක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7කට අධික ව ද, වසර 10හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 252ක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 4.8කට අධික ව ද ඇණවුම් ලැබිණ.  මින් පැහැදිලි ව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ ධනාත්මක පැතිකඩ කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසයයි.  

ඇණවුම් පොතෙහි ණය කාණ්ඩ දෙක ම ඉතා හොදින් විවිධාංගීකරණය වී ඇත.  පස් අවුරුදු කාණ්ඩයෙන් 39%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 38%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 23% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ.  ආයෝජක වර්ගය අනුව 91%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල් සඳහා ද, 3%ක්  බැංකු සඳහා ද සහ 1%ක් අනෙකුත් ආයෝජකයන් වෙත ද බෙදී ගියේ ය.   දස අවුරුදු කාණ්ඩයෙන් 44%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 39%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 17% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ.  මෙය ආයෝජක වර්ගය අනුව, බෙදා වෙන් කිරීමේ දී දස අවුරුදු කාණ්ඩය  90%ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල් සඳහා ද, 4%ක්  බැංකු  සඳහා ද 1%ක් අනෙකුත් ආයෝජකයන් වෙත ද බෙදී ගියේ ය. 

සිංගප්පූරු විනිමය සුරැකුම්පත් වෙළෙඳ සමාගමේ (Singapore Exchange Securities Trading Limited-The SGXST), ලැයිස්තුගත කිරීමට හා මිල තැබීමට අමතර ව, ශ්‍රී ලංකාව සඳහා ප්‍රථම වරට මෙම බැඳුම්කර ලන්ඩන් කොටස් හුවමාරුවේ (London Stock Exchange-LSE), ජාත්‍යන්තර සුරැකුම්පත් වෙළඳපොළෙහි (LSE’s International Securities Market-ISM) ලැයිස්තුගත කිරීමට ද අපේක්ෂිත යි.  

සටහන:

මෙම පුවත්පත් නිවේදනය එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් නො වේ.  මෙහි දක්වා ඇති සුරැකුම්පත් 1933 එක්සත් ජනපද සුරැකුම්පත් පනත, සංශෝධිත (“සුරැකුම්පත් පනත”) යටතේ ලියාපදිංචිය ලබා නැති අතර, ඉදිරියේ දී ද ලියාපදිංචි කරනු නො ලබනු ඇත.  තව ද, එක්සත් ජන‍පදයේ කිසිදු සුරැකුම්පත් නීතියකට හෝ එක්සත් ජන‍පදයේ ලියාපදිංචි නොමැති ව ඉදිරිපත් කිරීමට හෝ විකිණීම කළ නො හැකි අතර, අදාළ නිදහස් කිරීම්වලින් හෝ සුරැකුම්පත් පනත යටතේ ලියාපදිංචි වීම අවශ්‍ය නො වන සහ එක්සත් ජනපදයේ අදාළ සුරැකුම්පත් නීතිවලට යටත් නො වන ගනුදෙනු වේ.  එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් ප්‍රසිද්ධ නිකුතුවක් සිදු කරනුයේ නිකුත් කරන්නාගෙන් ලබා ගන්නා සහ නිකුත් කරන්නා පිළිබඳ ව සවිස්තර තොරතුරු අඩංගු ප්‍රකාශ පත්‍රිකාවක් මගිනි.  මෙම පුවත්පත් නිවේදනයේ කිසිවක් සුරැකුම්පත් විකිණීමට හෝ මිල දී ගැනීමට කරනු ලබන ඉදිරිපත් කිරීමක් නො වන අතර, එ වැනි ඉදිරිපත් කිරීමක් හෝ විකිණීමක් ඕනෑ ම අධිකරණයක නීති‍ විරෝධී ලෙස සැලකේ. ශ්‍රේණිගත කිරීම, සුරැකුම්පත් මිල දී ගැනීම, විකිණීම හෝ තබා ගැනීම නිර්දේශ කිරීමක් නො වන අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඕනෑ ම අවස්ථාවක, අඩු කිරීම හෝ ආපසු ගැනීමේ හෝ අත්හිටු‍වීමේ කටයුතුවලට යටත් විය හැක.  

 

 

Published Date: 

Friday, March 8, 2019