විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ඔක්තෝබර්

2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය. අපනයන ඉපැයීම්වල සිදු වූ මෙම වර්ධනයන් සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමඟ ඉදිරි කාලය තුළ දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය ලැබීම ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන වියදම ද 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේය. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් මාසය තුළ දී සුළු ප්‍රමාණයක් වාර්තා විය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක මට්ටමක පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, December 20, 2021