බලපත්‍රලාභී මුදල් තැරැව්කරුවන් නියාමනය කිරීම

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (සී) වගන්තිය යටතේ නිකුත් කරන ලද “2018 අංක 1 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසිය සහ 2019 අංක 1 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසිය” යටතේ බලයලත් මුදල් තැරැව්කරුවන් නියාමනය කෙරේ. මෙම රෙගුලාසි, පිළිවෙළින්, 2018 මාර්තු මස 5 දින සහ 2019 පෙබරවාරි මස 14 දින සිට ක්‍රියාත්මක කරන ලදී. බලපත්‍රලාභි මුදල් තැරැව්කරුවන් නියාමනය කිරීමේ පරමාර්ථය වනුයේ වෙළෙඳපොළ විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මුදල් වෙළෙඳපොළෙහි උපඅංශවල මිල ගවේෂණයෙහි කාර්යක්ෂමතාව පිළිබඳව තොරතුරු ලබා ගැනීමය. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රතිපත්ති කෙරෙහි මුදල් වෙළෙඳපොළෙහි සිදුවන වර්ධනයන් සෘජුව සම්බන්ධ වන බැවින් මෙම නියාමනය වැදගත් වේ.

මේ සඳහා අධීක්ෂණ ක්‍රම දෙකක් අනුගමනය කරනු ලබයි. පළමු අධීක්ෂණ ක්‍රමය දුරස්ථ අධීක්ෂණය (Off-site Surveillance) වන අතර එහිදී, මංගත (on-line) සහ අපගත (off-line) ක්‍රම මගින් ලබා ගන්නා තොරතුරු මගින් බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතන අධීක්ෂණය කරනු ලබයි. දෙවන ක්‍රමය වන්නේ සමීපස්ථ අධීක්ෂණයයි (On-site Surveillance). එහිදී, ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලය, බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතන පරිශ්‍ර වෙත ගොස් මහ බැංකුව විසින් පනවා ඇති රෙගුලාසි බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතන විසින් ක්‍රියාත්මක කරන්නේ දැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි. සෑම බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතනයක්ම අවම වශයෙන් වසරකට එක් වතාවක් අධීක්ෂණය කරනු ලැබේ.

බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතන විසින් මුදල්, විදේශ විනිමය සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළවල අතරමැදියකු ලෙස කටයුතු කරනු ලබයි. සහභාගීත්ව ආයතන සඳහා මිල ප්‍රකාශන සහ ලංසු තැබීමේ තොරතුරු සැපයීම මගින් ඔවුන් අතර ගනුදෙනු ඇති කිරීමට බලපත්‍රලාභී මුදල් තැරැව්කරණ ආයතන විසින් පහසුකම් සලසා දෙනු ලැබේ. ගනුදෙනුකාර පාර්ශ්ව වෙතින් අයකර ගනු ලබන තැරැව් ගාස්තුව බලපත්‍රලාභී මුදල් තැරැව්කරුවන්ගේ ආදායම වේ.

ශ්‍රී ලංකාවේ බලයලත් මුදල් තැරැව්කරණ සමාගම් ලේඛනය