කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ දී තියුණු පහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. පුරෝකථනවලට සාපේක්ෂව, වාර්තා වූ උද්ධමනය පහළ මට්ටමක පැවතීම සඳහා නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතු විය.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති සියයට 47.6හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 30.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති සියයට 51.7හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 37.6 දක්වා පහළ ගියේය. කො.පා.මි.ද. (2021=100) ශ්‍රේණියේ මෙතෙක් වාර්තා වූ වැඩිම මාසික පහළ යෑම 2023 අප්‍රේල් මාසයේ දී දක්නට ලැබුණු අතර එය සියයට -1.39ක් විය. ඊට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික පහළ යෑම වන අතර, එම දායකත්වය සියයට -1.37ක් විය. මේ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්ද මාසිකව සියයට 0.02කින් පහළ ගියේය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 මාර්තු මාසයේ පැවති සියයට 39.1හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 27.8 දක්වා පහළ ගියේය.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව දැනට පවත්නා ඉහළ උද්ධමනය 2023 වසර අවසානය වන විට තනි ඉලක්කමක මට්ටම වෙත ළඟා වනු ඇත. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්ව, දේශීය සහ ගෝලීය වශයෙන් සැපයුම් තත්ත්ව යථා තත්ත්වයට පත් වීම, පහළ යන ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් දේශීය මිල ගණන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වනු ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, April 28, 2023