සමස්ත විග්‍රහය

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. 2023 සැප්තැම්බර් මාසයේ දී සම්මත වූ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් 1950 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ 1949 අංක 58 දරන මුදල් නීති පනත අවලංගු විය. මෙම නව පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික පුද්ගලභාවයක් සහිත සංස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇත. 

මෙම නව පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකු ස්වාධීන සහ වගකීම්සහගත විය යුතුය. නෛතික පුද්ගලභාවයක් සහිත ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල්, මූල්‍ය සහ ගෙවීම් පද්ධති පරිපාලනය සඳහා වගකිව යුතුය. මහ බැංකු පනතට අනුව, මහා භාණ්ඩාගාර ලේකම් තවදුරටත් මහ බැංකුවේ තීරණ ගැනීමේ කිසිදු ආයතනයක කොටසක් නොවේ. 

නව පාලන ව්‍යුහය සාමාන්තර තීරණ ගැනීමේ මණ්ඩල දෙකකින් සමන්විත වේ; ඒවා නම්, මහ බැංකු අධිපතිවරයා විසින් නායකත්වය දරනු ලබන, පාලක මණ්ඩලය (පා.ම.) සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය (මු. ප්‍ර. ම.) යි.

අ ) පාලක මණ්ඩලය –ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීමේ වගකීම සහ මුදල් ප්‍රතිපත්තිය හැර ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය නිර්ණය කිරීම.

ආ) මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය –ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීමට සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම.

සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රාථමික අරමුණට අමතරව, සඵලදායී ලෙස සම්පත් උපයෝගීතාව උපරිම කරන අතරතුර, හිතකර හා ස්ථාවර ආර්ථික සහ මූල්‍ය පද්ධතියක් පවත්වා ගැනීම පෙරදැරි ව කටයුතු කරයි. එබැවින්, එහි නව ප්‍රාථමික සහ අනෙක් අරමුණු වන්නේ:

අ ) ප්‍රාථමික අරමුණ: දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ  පවත්වා ගෙන යෑම -  ප්‍රාථමික අරමුණ හඹා යෑමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව නිමවුම එහි විභව මට්ටම කරා ස්ථායීකරණය පිළිබඳව සලකා බැලිය යුතු ය. 

ආ) අනෙක් අරමුණ: මුල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙන යෑම - අනෙක් අරමුණ හඹා යෑමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධතියේ සංවර්ධනය සහ කාර්යක්ෂමතාව සලකා බැලිය යුතු ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් එහි අධිපතිවරයා තවදුරටත් කටයුතු කරනු ඇත. අධිපතිවරයාට අමතර ව, නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉහළ කළමනාකාරීත්වය සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව දෙපාර්තමේන්තු 29කින් සහ ප්‍රාදේශීය කාර්යාල 6කින් සමන්විත වෙයි. සහකාර අධිපතිවරයකු හරහා අධිපතිවරයාට හෝ නියෝජ්‍ය අධිපතිවරයකුට වාර්තා කරන අධ්‍යක්ෂකවරයකු (හෝ ඊට සමාන නිලධාරියකු) විසින් දෙපාර්තමේන්තු මෙහෙයවෙනු ලබයි. තවද, රජයේ ආර්ථික කටයුතු උපදේශක මෙන් ම රජයේ බැංකුකරු ලෙස ද මහ බැංකුව කටයුතු කරයි.