විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2019 අගෝස්තු

ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු විය. 2019 අගෝස්තු මස ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 16.6 ක අඩුවීමක් වාර්තා කළ අතර ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් අපනයන ආදායම  පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 0.4 කින්  සුළු වශයෙන් අඩු විය.

2019 ජූලි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 717 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 අගෝස්තු මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 540 ක් දක්වා අඩු විය.

2019 අගෝස්තු මස සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව සියයට 24.1 ක වර්ධනයක් වාර්තා කළ අතර පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම්හි පහළ යෑම අවම විය.  

2019 අගෝස්තු මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 518 ක් දක්වා සියයට 3.0 කින් අඩු විය. සමුච්චිත පදනම මත, 2019 වසරේ පළමු මාස අට තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 4,414 ක් දක්වා සියයට 7.6 කින් අඩු විය.

2019 අගෝස්තු මස රජය වෙත සැලකිය යුතු විදේශ ව්‍යාපෘති ණය ලැබීම් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ සහ  රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන  ශුද්ධ ගෙවීම් වාර්තා විය.

2019 අගෝස්තු මස අවසානය වනවිට දළ නිළ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 8.5 ක් වූ අතර, එය ආනයනික මාස 5.1 කට සමාන විය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, October 14, 2019