මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. කොවිඩ්-19 වසංගතය මගින් නිර්මාණය කර ඇති තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික පුරෝකථන සඳහා නිරන්තර යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන අතර, එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සම්මත දර්ශක ලැබෙන අයුරින් අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් සිටී. එසේ ම, තත්කාලීන ව ලබා ගත හැකි සාම්ප්‍රදායික නො වන දර්ශක ද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සඳහා යොදා ගනිමින් සිටී. 

කෙසේ වෙතත්, මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පුළුල් ලෙස සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතඩය. එම දත්ත නිකුත් වූ පසු මහ බැංකුව විසින් සංශෝධිත පුරෝකථන ප්‍රකාශයට පත් කරනු ඇත. එම නිසා, 2020 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ප්‍රමාණයකින් සංකෝචනය වන බව සහ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වන බව මහ බැංකුව විසින්  පුරෝකථන සංශෝධනය කර ඇතැයි පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය සහ මහජනතාව නො මග යවන සුළු බවට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තරයේ අවධාරණය කරයි.

 

Published Date: 

Friday, July 31, 2020