2019 දෙසැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 8.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2ක් ලෙස නො වෙනස් ව පැවතුණි. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 3.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 1.6ක් ලෙස වාර්තා වූ අතර, ඒ සඳහා හේතු වූයේ 2019 දෙසැම්බර් මාසයේ දී පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු ඉහළ යෑම් පමණි. ආහාර කාණ්ඩයේ එළවළු, සහල්, රතු ළූණු, පොල් සහ මාළු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මේ අතර, 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් ක්‍රියාත්මක කළ බදු පහළ දැමීම් හේතුවෙන් සන්නිවේදන; නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන; සෞඛ්‍ය; සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම මගින් ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 5.5 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේ ය. කෙසේ වුව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 5.6 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේ ය.

 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 21, 2020