2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගයට අනුකූල ව 2019 වසර අවසානය සඳහා වන බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික ඉලක්ක සපුරා ගැනීම

“මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ, රුපියල් ණය සඳහා අදාළ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම ඉහළ නැංවීම” යන 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය අනුව සතිපතා ආර්ථික දර්ශක (Weekly Economic Indicators) ප්‍රකාශනයේ 2019 අප්‍රේල් මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික (AWPR) හා සැසඳීමේ දී 2019 දෙසැම්බර් මස 27 වන දින වන විට සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250කින් පහළ දැමිය යුතු වේ. මෙම නියෝගය නිකුත් කළ දින හෝ ඉන් අනතුරු ව සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය වාර්ෂික ව සියයට 9.50 දක්වා හෝ ඊට වඩා අඩු කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා මෙම නියෝගය අදාළ නො වේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් ඉහත නියෝගයට අනුකූල ව කටයුතු කර ඇති අතර, ඇතැම් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නියාමන අවශ්‍යතාව සපුරාලීම සඳහා ඔවුන්ගේ බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය විශේෂයෙන් 2019 දෙසැම්බර් 20 දිනෙන් අවසන් වූ පෙර සතියේ සිට 2019 දෙසැම්බර් 27 දිනෙන් අවසන් වූ සතිය තුළ දී විශාල ලෙස අඩු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය සමස්තයක් ලෙස 2019 අප්‍රේල් 26 පැවති සියයට 12.24 සිට 2019 දෙසැම්බර් 27 දින වන විට සියයට 9.94ක් දක්වා පදනම් අංක 230කින් අඩු විය. මෙය 2016 අප්‍රේල් 29 දිනෙන් පසු බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය තනි අගයක මට්ටම දක්වා පහළ ගිය ප්‍රථම අවස්ථාව වේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, December 30, 2019