මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අප්‍රේල්

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 2.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා අඩු විය. මීට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ ආහාර මිල ගණන් තුළින් ඇති වන උද්ධමනය පහළ යෑමයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 0.9 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 1.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.2ක අගයක් වාර්තා කළ අතර එය වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6ක් ලෙස සටහන් විය. මේ අතර ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරනු ලබන මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 මාර්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේ ය. 

මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේ දී දේශීය ණය සමස්තවල වර්ධනය හේතුවෙන් පුළුල් මුදල් සැපයුමේ (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 19.1 හා සැසඳීමේ දී 2016 පෙබරවාරි මාසයේ දී සියයට 19.8ක් විය. දේශීය ණය තුළ විශාලතම ණය ප්‍රභේදය වන වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය 2016 ජනවාරි මා‍සයේ වූ සියයට 25.7 හා සැසඳීමේ දී 2016 පෙබරවාරි මාසයේ දී සියයට 26.5ක් දක්වා ඉහළ ගිය අතර පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රසාරණය 2016 පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 53.7ක් විය. මේ අතර ආර්ථිකයේ දැඩි මුදල් තත්ත්වයේ බලපෑම පිළිබිඹු කරමින් වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම කිසියම් කාල පමාවක් සහිත ව ආර්ථිකය වෙත බලපෑම් ඇති කරනු ඇතැ යි අපේක්ෂා කරන අතර ඒ අනුව ඉදිරි කාලයේ දී මුදල් සහ ණය වර්ධනයේ ක්‍රමික අඩු වීමක් අපේක්ෂා කෙරේ. 

විදේශීය අංශය සැලකූ විට 2016 පෙබරවාරි මාසයේ දී ආනයන වියදමේ පහළ යෑම අපනයන ආදායමේ පහළ යෑමට වඩා වැඩි වීම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 11.7කින් අඩු විය. 2016 මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් සියයට 22.8කින් පමණ ඉහළ ගොස් ඇතැ යි ඇස්තමේන්තු කර ඇති අතර 2016 පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 8.3ක හිතකර වර්ධනයක් වාර්තා කළේ ය. 2016 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය 2016 මාර්තු මාසය අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2016 මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල පුළුල් වශයෙන් ස්ථාවර ව පවතී. 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ක්‍රියාමාර්ගවල බලපෑම පූර්ණ වශයෙන් මුදල් ව්ධනය තුළින් පිළිබිඹු වීමට යම් කාලයක් ගත වනු ඇතැ යි යන කරුණු සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 අප්‍රේල් මස 26 පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.50සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR) 6.50%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.00%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

Published Date: 

Tuesday, April 26, 2016