2016 මැයි මාසයේ දී උද්ධමනය

ජනලේඛන සහ සංඛ්‍ය‍ාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 4.3 හි සිට 2016 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය. ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන උප කාණ්ඩය හැරුණු විට අනෙකුත් ආහාර නො වන කාණ්ඩ මෙන් ම ආහාර කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අප්‍රේල් මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016මැයි මස දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 අප්‍රේල් මාසයේ සිට 2016 මැයි මාසය දක්වා සියයට 1.9ක වැඩිවීමක් වාර්තා වේ. මෙම වැඩි වීම සඳහා ආහාර නො වන කාණ්‍ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. රෙදිපිළි හා පාවහන්; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් මැයි මාසය තුළ දී ඉහළ ගියේ ය. මෑත කාලීන බදු සංශෝධනයන්හි සෘජු බලපෑම ද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මෙම මාසික ඉහළ යෑම තුළ නිරීක්ෂණය විය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග අයත් කාණ්ඩයේ මිල ගණන් ද 2016 මැයි මාසය තුළ දී ඉහළ ගියේ ය. එළවළු, සහල්, දෙහි, අර්තාපල්, පරිප්පු, රතුළූණු, අමු මිරිස්, සීනි සහ කරවල මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ අයත් උප කාණ්ඩයේ මිල ගණන් 2016 මැයි මාසය තුළ දී පහළ ගියේ ය. කෙ සේ වුව ද ප්‍රවාහන සහ අධ්‍යාපන උප කාණ්ඩ මාසය තුළ දී නො වෙනස් ව පැවතුණි. 

මේ අතර ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මස පැවැති සියයට 5.6 සිට 2016 මැයි මස වන විට සියයට 7.0 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය 2016 අප්‍රේල් මස වාර්තා වූ සියයට 4.3 හි සිට 2016 මැයි මස වන විට සියයට 4.6 දක්වා ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, June 21, 2016