ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් සඳහා මුදල් ගෙවීම

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පී එල් සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයට වැඩිමනත්වයි.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කරන ලදි. තව ද, එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දෙනු ලැබී ය.

ඒ අනුව, අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකා  මුදලින් රුපියල්  දශ ලක්ෂ 5,017.6ක් ලෙස ඊ ටී අයි ආයතනය වෙත ලැබී ඇත. තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව එ සේ ලැබී ඇති මුදලින්  ඊ ටී අයි ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක මුදලක්, එ නම් ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වන විට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 1,400 ක් පමණ, තැන්පත්කරුවන් වෙත ගෙවීමට උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.06.05 දින ආරම්භ කෙ‍ෙරනු ඇත. එ මෙන් ම එම ආයතනයේ තැන්පතු වගකීම්වලින් තවත් සියයට 10ක මුදලක් ඉහත කී වත්කම් විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදලින් (එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 43) ගෙවීමටත් ඊ ටී අයි ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. 

2018.06.05 දින ආරම්භ වන ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ඊ ටී අයි ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු ඇත. පසුගිය මාස හතරක පමණ කාලය තුළ මේ සඳහා සහයෝගය ලබා දුන් සියලු ම පාර්ශ්වයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්තුතිය පළ කර සිටින අතර ඊ ටී අයි ආයතනය සම්බන්ධ ව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරී සැලැස්මේ කටයුතු අවසන් වන තෙක් සහ ගෙවීම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයට සහයෝගය ලබ‍ා දෙන ලෙසත්, එ තෙක් ඉවසිලිවන්ත ව කටයුතු කරන ලෙසත් සියලු ම තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටී. 

 

 

Published Date: 

Sunday, May 20, 2018