භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරණ ගෙවීම් පිළිබඳ ව පැහැදිලි කිරීමක්

ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනට පෙර අදාළ ගෙවීම් සිදු කිරීමට නො හැකි බව ඉස්මතු කර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තා පළ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩ ව සිදු කිරීම මගින් ඉතා යහපත් වාර්තාවක් පවත්වා ගෙන යන බව ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජිත කාර්යයක් වශයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරණය  සිදු කරමින් නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුව කල් පිරෙන දිනට පෙර නො ව, කල් පිරෙන දිනයේ දී අදාළ පොලී සහ ණය ආපසු ගෙවීම් සිදු කර ඇත.

2018 වර්ෂයේ මේ දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීම් (ඊට අදාළ පොලිය ද සමඟ) මෙන් ම භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීම් සහ කූපන් පොලී ගෙවීම්ද  නියමිත දිනයන්ට සිදු කිරීම තුළින් ද ණය සේවාකරණ වගකීම් පියවීම සඳහා රජය සතු ව ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවතින බව විදහා දැක්වෙයි. පහත වගුවේ දැක්වෙන පරිදි 2018 වර්ෂය තුළ දී මේ වන තෙක් සිදු කළ රුපියල් මිලියන 324,448 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීම් සදහා වූ ගෙවීම් සහ කූපන් පොලී ගෙවීම් හා සැසදීමේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් උපයනු ලැබූ මුදල රුපියල් මිලියන 220,020 ක් පමණි.

භාණ්ඩාගාර බැඳුම්කර සේවා ගෙවීම් (01.01.2018 සිට 25.04.2018 දක්වා) රුපියල් මිලියනවලින්

කල්පිරීම් සදහා ගෙවීම් කූපන් / පොලී ගෙවීම් මුළු ගෙවීම්
187,638.32 136,809.71 324,448.03

මීට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව පැවති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2017 අප්‍රේල් 25 වැනි දින තිබූ  රුපියල් මිලියන 293,039 සිට 2018 අප්‍රේල් 25 වැනි දින වන විට රුපියල් මිලියන 69,114 දක්වා සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කරයි.

ආයෝජකයන් කිහිප දෙනෙකුගේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ව සිදු කළ පොලී සහ කල් පිරීම් සදහා වූ ගෙවීම් අත්හිටවන ලද ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ගිණුමේ පවතින අතර, එම ගෙවීම් සුදුසු නීතිමය අනුමැතියක් ලැබුණු විට ඉදිරියේ දී නිදහස් කිරීම සිදු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැහැදිලි කරයි.

 

 

Published Date: 

Wednesday, April 25, 2018