2016 ජූනි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 5.3 සිට 2016 ජූනි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 2016 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මැයි මස වාර්තා වූ සියයට 2.7 සිට 2016 ජූනි මස දී සියයට 3.1 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 මැයි මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.7 සිට 2016 ජූනි මාසයේ දී දර්ශක අංක 116.1 දක්වා සියයට 2.1ක වැඩි වීමක් වාර්තා වේ. මෙම වැඩි වීම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, අමු මිරිස්, සහල්, නැවුම් මත්ස්‍ය, සීනි, අර්තාපල් සහ රතු ළුෑණු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහඒකක නඩත්තු කටයුතු; සන්නිවේදන; අපනශාලා හා යෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් 2016 ජූනි මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයේ මිල ගණන් 2016 ජූනි මාසය තුළ දී පහළ ගියේ ය. කෙ සේ වුව ද, සෞඛ්‍ය; ප්‍රවාහන; විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන උප කාණ්ඩ මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි. 

මේ අතර ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මස පැවැති සියයට 7.2 සිට 2016 ජූනි මස වන විට සියයට 7.5 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය 2016 මැයි මස වාර්තා වූ සියයට 5.0 සිට 2016 ජූනි මස වන විට සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Thursday, July 21, 2016