ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වරට රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු තොරතුරුවල සාරාංශගත සංඛ්‍ය‍ාලේඛන නිකුත් කරයි

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය පියවරක් ලෙසට අද සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද්විතීයික වෙළෙඳපොළ තුළ රජයේ සුරැකුම්පත් ගනුදෙනු සාරාංශගත වෙළෙඳ සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව, 2016 අගෝස්තු මස 1 වැනි දින සිට සියලු ප්‍රාථමික අලෙවිකරුවන්, ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සහ තොරතුරු ඉලෙක්ට්‍රොනික පද්ධතියක් වන බ්ලූම්බර්ග් (Bloomberg) හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළෙඳ පද්ධතිය තුළ අන්තර් ප්‍රාථමික අලෙවි ගනුදෙනු වාර්තා කිරීම සිදු කළ යුතු වන්නේ ය. තව ද, සියලු ම ප්‍රාථමික අලෙවිකරුවන් ආයෝජකයින් සමඟ කරනු ලබන මිලියන 50 ඉක්මවන සියලු ම විකුණුම් හා අදාළ තොරතුරු විනාඩි 30ක් ඇතුළත එම පද්ධතිය වෙත වාර්තා කළ යුතු වන්නේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩ පදනමක් මත මෙම ගනුදෙනු අධීක්ෂණය කරමින් ඒ හා අදාළ ඵලදා අනුපාතික හා ගනුදෙනු ප්‍රමාණයන් සමඟින් වෙළෙඳ තොරතුරු සාරාංශයක් මේ සමඟ අමුණා ඇති ආකෘතියේ පරිදි මහ බැංකු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව එ වැනි තොරතුරු දිනකට දෙ වරක්, එ නම් දවසේ මධ්‍යහ්නයේ දී හා දවස අවසානයේ දී මෙම පද්ධතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක විමත් සමඟ යථා කාලයේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ආයෝජකයින්ට අනෙකුත් මූල්‍ය වෙළෙඳපොළ සහ ආර්ථික තොරතුරු සමඟ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තත්ත්වයන්ගේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඔවුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් වඩා දැනුවත් තීරණ ගැනීමට මෙම තොරතුරු උපකාරී වනු ඇත. එ වැනි වෙළෙඳපොළ තොරතුරු පැවතීම හරහා අනෙකුත් මූල්‍ය වෙළෙඳපොළවල් හා සමගාමී ව රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවදුරටත් ඉහළ යමින් මිල අනාවරණය හා පුළුල් පරාසයක් තුළ වෙළෙඳපොළ පැතිර යෑම සිදු වනු ඇත. ප්‍රාථමික අලෙවිකරුවන් නො වන බැංකු විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට කරනු ලබන ද්විතීයික වෙළෙඳපොළ රජයේ සුරැකුම්පත් අලෙවියන් ද යථා කාලයේ දී මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබේ. 

මීට අමතර ව තවදුරටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් සංවර්ධිත මූල්‍ය වෙළෙඳපොළවල් පරිද්දෙන් වෙළෙඳපොළ තොරතුරු තත්කාලීන පදනම මත සැපයීම සඳහා විමධ්‍යගත ගනුදෙනු පද්ධතිය හා සමගාමී ව විද්‍යුත් වෙළෙඳ පද්ධතියක් පිහිටුවීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මේ අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව වෙළෙඳපොළ නියාමනය හා අධීක්ෂණය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත. ඒ අනුව, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ නියාමනය සහ අධීක්ෂණය බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ණය නිකුත් කිරීම්, ලේඛනගත කිරීම, වෙළෙඳපොළ සංවර්ධනය හා ණය කළමනාකරණය යන විෂයයන් සඳහා පමණක් සීමා වනු ඇත. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා සාධාරණ වෙළෙඳපොළ පරිචයන් ප්‍රවර්ධනය වීමත් සියලු ම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහභාගීකරුවන් වෙත තවදුරටත් ඵලදා ලාභයන් ලබා දීමත් සිදු වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, August 4, 2016