2016 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 6.4 සිට 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූනි මස වාර්තා වූ සියයට 3.1 සිට 2016 ජූලි මස දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 ජූනි මාසයේ වාර්තා වූ දර්ශක අංක 116.1 සිට 2016 ජූලි මාසයේ දී දර්ශක අංක 115.2 දක්වා සියයට 0.8ක අඩු වීමක් වාර්තා වේ. මෙම අඩු වීම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, පොල්, නැවුම් මත්ස්‍ය, සීනි, දෙහි සහ වියළි හාල්මැස්සන් මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ සෞඛ්‍ය; සන්නිවේදන; සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩවල මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී පහළ ගියේ ය. ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු කටයුතු; ප්‍රවාහන; ආපන ශාලා හා හෝටල්; සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයේ මිල ගණන් 2016 ජූලි මාසය තුළ දී ඉහළ ගියේ ය. කෙ‍ සේ වුව ද, රෙදිපිළි හා පාවහන්; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන; හා අධ්‍යාපන උප කාණ්ඩ මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි. 

මේ අතර ආර්ථකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික ජාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත2016 ජූනි මස පැවැති සියයට 7.5 සිට 2016 ජූලි මස වන විට සියයට 6.8 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය 2016 ජූනි මස වාර්තා වූ සියයට 5.3 සිට 2016 ජූලි මස වන විට සියයට 5.5 දක්වා ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, August 22, 2016