මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 8

පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ ව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් මස 27 වැනි  දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය. කෙ සේ වෙතත්, 

ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ ප්‍රවණතා අඛණ්ඩ ව සමීප ව අධීක්ෂණය කර අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ඇත. 

මුදල් මණ්ඩලයේ මෙම තීරණය සඳහා තුඩු දුන් ප්‍රධාන ආංශික වර්ධන ප්‍රවණතා පහත සඳහන් වේ. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2017 වසරේ තුන්වන කාර්තුව තුළ දී පුරෝකථනය කළ මට්ටමට වඩා අඩු වර්ධනයක් වාර්තා කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2017 වසරේ දෙවන කාර්තුව තුළ වාර්තා කළ සියයට 4.0ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂ ව 2017 වසරේ තුන්වන කාර්තුව තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.3කින් වර්ධනය විය. තෙවන කාර්තුව තුළ වාර්තා වූ ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් කර්මාන්ත සහ සේවා අංශයේ ක්‍රියාකාරකම්වල පැවති මන්දගාමී ප්‍රසාරණය හේතු වූ අතර කාලගුණික අවහිරතා හේතුවෙන් කෘෂිකාර්මික අංශය අඛණ්ඩ ව ඍණ වර්ධනයක් වාර්තා කළේ ය. නුදුරු කාලයේ දී ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී මට්ටමක පැවතිය ද, අපනයන අඛණ්ඩ ව ඉහළ යෑම හා විදේශ ඍජු ආයෝජන සමඟ ආයෝජන වර්ධනය වීම හේතුවෙන් 2018 වසරේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.  කෘෂිකාර්මික අංශය නැවත යථා තත්ත්වයට පත්වීම ද 2018 වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය සඳහා සහාය වනු ඇත. 

2017 නොවැම්බර් මාසයේ දී මතුපිට උද්ධමනය අපේක්ෂිත ලෙස මන්දගාමී වූ නමුත්, දේශීය ආහාර මිල ගණන් ඉහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතී. කෙ සේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ සඵලදායී බව පිළිබිඹු කරනු ලබන ඉල්ලුම් පීඩන පාලනය වීම හේතුවෙන් මූලික උද්ධමනය හිතකර මට්ටමක පැවැතිණි. සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම නුදුරු අනාගතයේ දී මතුපිට උද්ධමනය කිසියම් දුරකට ඉහළ මට්ටමක පැවතීම සඳහා බලපෑම් ඇති කළ හැකි අතර 2018 වසරේ පළමු කාර්තුව අවසානයේ දී මතුපිට උද්ධමනය නැවතත් අපේක්ෂිත මට්ටම කරා ළඟා වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින් අපේක්ෂා කරන ලද  පරිදි වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයනු ලබන ණය වර්ධනයේ මන්දගාමී වීම හේතු කොට ගෙන 2017 නොවැම්බර් මාසයේ දී පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සැලකිය යුතු ලෙස අඩු විය. මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික අතර පැවති විෂමතාව නිවැරදි කරමින් රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික ඉහළ ම  මට්ටමක සිට පහළ ගියේ ය. ඵලදා අනුපාතිකවල අඩු වීම අනුව අ‍නෙකුත් වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාවට නැංවීමේ බලපෑම කිසියම් දුරකට පෙන්නුම් කරමින් අපනයන ආදායම් අඛණ්ඩ ව සිව්වන මාසයටත් අංක දෙකක මට්ටමේ වර්ධනයක් වාර්තා කරමින් එහි වර්ධන ප්‍රවණතාව නො කඩවා පවත්වා ගෙන ගියේ ය. කෙ සේ වෙතත්, ඉහළ අපනයන ආදායම්වල ධනාත්මක බලපෑම සීමා කරමින් විශේෂයෙන් ම අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් ඇති වූ සැපයුම් අංශයේ අවහිරතා නිසා ඇති වූ ඉහළ ආනයන වියදම් හේතුවෙන් වසරේ පළමු මාස දහය තුළ සමුච්චිත වෙළඳ හිඟය පුළුල් විය. කෙ සේ වෙතත්,  විදේශ ගිණුම් මත වූ පීඩනය යම්තාක් දුරකට සමනය කරමින් විශේෂයෙන් ම රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ සඳහා වූ ලැබීම් ලෙස මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩ ලැබීම් වාර්තා විය. 2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී විය. මෙම වර්ධනයන් මධ්‍යයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7ක සමුච්චිත ශුද්ධ විදේශ විනිමය මිල දී ගැනීම පිළිබිඹු කරමින් 2017 දෙසැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැ යි ඇස්තමේන්තු කර ඇත. 2017 දෙසැම්බර් 27 දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 1.9කින් අවප්‍රමාණය විය. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙත ගමන් කිරීම සඳහා වූ වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ වඩාත් නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක් පවත්වා ගෙන යන අතර, 2017 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව එතෙක් පැවති දළ නිල සංචිත ප්‍රමාණයෙහි අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කළ අතර, 2015 සහ 2016 යන වසරවල දී හිඟ මට්ටමක පැවති ගෙවුම් ශේෂය 2017 වසර තුළ දී අතිරික්තයක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. 

දැනට පවතින දර්ශක අනුව 2017 වසරේ මේ දක්වා කාලය තුළ විශේෂයෙන් ම  ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට හේතු වෙමින් ආදායම් රැස් කිරීම් ඉහළ යෑම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු විය. ප්‍රධාන වශයෙන් ඉහළ පොලී ගෙවීම්  සහ සහන වැඩපිළිවෙළ ආශ්‍රිත වියදම්වල ප්‍රතිඵලයක් ලෙස මුල් ඇස්තමේන්තුවලට සාපේක්ෂ ව 2017 වසරේ දී ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂයන්හි යම් පසුබෑමක් අපේක්ෂා කළ ද, සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගෙන යෑමට දායක වෙමින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩපිළිවෙළ මැදි කාලයේ දී අඛණ්ඩ ව පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

 මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -                 සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                       සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                             සියයට 7.50    

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Thursday, December 28, 2017