ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා මහ බැංකුව අත්සන් තබයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.

පොලිස්පති පූජිත ජයසුන්දර සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච්. අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධ වන අතර එ මගින් දේශීය මෙන් ම ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත. මෙම අවබෝධතා ගිවිසුම හරහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු අනෙකුත් නීත්‍යනුකූල නො වන කටයුතු වැළැක්වීමට, අනාවරණය කර ගැනීමට හා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය වැදගත් මූල්‍ය/බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි වේ. 

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ මෙ වැනි ම අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇති අතර අදාළ අනෙකුත් දේශීය රාජ්‍ය ආයතන සමඟ ද ඉතා ඉක්මනින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත. 

Published Date: 

Friday, December 15, 2017