සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද ශ්‍රී ලංක‍‍ා ව්‍යවහාර මුදල් නෝට්ටුවලට තහනමක්

පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම පිළිබඳ රෙගුලාසි  ක්‍රියාත්මක කිරීම වෙත ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අවධානය යොමු කරවයි. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මක තත්ත්වය පවත්වා ගෙන යාම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් අතර එය අව්‍යාජ හා ව්‍යාජ නෝට්ටු අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වේ. තව ද, රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සහ ව්‍යවහාර මුදල් නොට්ටු හැසිරවීමේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම ද මෙයින් බලාපොරොත්තු වේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම දඩ මුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙක ම ලබා දිය හැකි වරදකි. මුදල් නීති පනතේ රෙගුලාසි (ඊ) යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු ගෙවීමක් සිදු නො කරන අතර එවැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව බාරයේ රඳවා ගනු ලැබේ. එ වැනි මුදල් නෝට්ටු අත දරන්නා හට එම නෝට්ටුවල මුහුණත වටිනාකමේ අලාභය දරා ගැනීමට සිදු වේ.

තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව මෙ වැනි සිතා මතා විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ප්‍රතිස්ථාපනය වෙනුවෙන් විශාල මහජන මුදලක් වැය කරමින් මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන අතර එ සේ නො වන්නේ නම් වඩා වැදගත් අරමුණු සඳහා එම මුදල් යෙදවිය හැක. එ බැවින්  සිතා මතා විකෘති කරන, වෙනස් කරන හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී නොමැත.

ඒ අනුව, ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම යන පුරුදුවලින් වළකින ලෙස ද තම අත ඇති එ වැනි මුදල් නෝට්ටු 2017.12.31 දින හෝ එම දිනට පෙර ළඟ ම ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවකින් හුවමාරු කර ගන්නා ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. කෙ සේ වුව ද, පවත්නා ක්‍රමවේදයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා සිතා මතා විකෘති කිරීමක්, වෙනස් කිරීමක් හෝ හානි කිරීමකින් තොර ව මුදල් සංසරණයේ සාමාන්‍ය භාවිතයේ දී පළුඳු වු සහ ඉරුණු මුදල් නෝට්ටු හුවමාරු කර එහි වටිනාකම ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතී.

පිරිසිදු මුදල් ප්‍රතිපත්තියට අනුගත වෙමින් රටේ වලංගු මුදල් නෝට්ටුවල අව්‍යාජත්වය සහ වටිනාකම ආරක්ෂා කර ගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Published Date: 

Friday, December 15, 2017