2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය පුළුල් වීමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම්වල වර්ධනය සාපේක්ෂ ව අඩු වීමත් සමඟ 2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. වසරේ පළමු මාස හතර තුළ දී ක්‍රමික අඩු වීමක් පෙන්නුම් කළ වෙළෙඳ හිඟය මැයි සහ ජූනි මාස තුළ දී අපනයන මෙන් ම ආනයනයන්හි ද සිදු වූ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉහළ ගියේ ය. වසරේ පෙර මාස සමඟ සැසඳීමේ දී ජූනි මාසය තුළ දී සංචාරක ඉපැයීම් අඩු වර්ධනයක් වාර්තා කළ අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනය ද මධ්‍යස්ථ විය. කෙ සේ නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පළමු වාරිකය ලැබීම සහ ඒකාබද්ධ ණය පහසුකම මගින් වූ ලැබීම් හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ ගියේ ය. මූල්‍ය ගිණුම වෙත වූ මෙම ලැබීම් සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම තවදුරටත් කල් දැමීමත් සමඟ ගෝලීය ආර්ථිකයේ සිදු වූ වෙනස්කම්හි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ වූ විදේශීය ආයෝජන යථා තතත්වයට පත් විය. මේ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ වූ විදේශීය ආයෝජන වසරේ පළමු කාර්තුව තුළ දී වාර්තා කළ අඛණ්ඩ ගෙවීමට සාපේක්ෂ ව 2016 ජූනි මාසයේ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේ ය. මෙම වර්ධනයන් තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට සමගාමී ව ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ යෑමත් සමඟ කෙටි හා මැදි කාලීන ව ගෙවුම් තුලන තත්ත්වය ශක්තිමත් කරනු ඇතැයි ද ඒ අනුව ශ්‍ර්‍රී ලංකාවේ සංචිත තත්ත්වය වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

සම්පූර්ණ ලිපිය                                                                                                                                                                                                                                                                                                       

Published Date: 

Monday, September 5, 2016