ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මගින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ. 

ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් 2016 වසරේ සැප්තැම්බර් මස 13 වැනි දින සිට 23 වැනි දින දක්වා කාලය තුළ දී අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික වැඩසටහනේ පළමු සමාලෝචනය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා කොළඹට පැමිණියේ ය. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරීන්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමයි. මෙම සංචාරය අවසානයේ දී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදි:

“පළමු ආර්ථික කාර්ය සාධන සමාලෝචනය සම්පූර්ණ කිරීඹ පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දූත මණ්ඩලය පෙන්නුම් කළේ ය. ඔක්තෝබර් මාසයේ දී වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේ දී මේ පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත. 

“සමස්තයක් ලෙස, 2016 වසරේ පළමු භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරකම් සැලකීමේ දී ගෙවුම් තුලනය වැඩිදියුණු වීම හා මෑතකාලීන ව ඇති වූ ගංවතුර නිසා ආර්ථික වර්ධනය අඩු වීම සහ ඉහළ උද්ධමනය යනාදී වශයෙන් වූ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබුණි. වෙළෙඳපොළ විශ්වසනීයත්වය වර්ධනය වීමට සහ විදේශීය තුලනය මත ඇති පීඩනය අඩු කිරීමට උපකාරී වන අන්දමින් රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. 

“දුෂ්කර වාතාවරණයක් යටතේ වූව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ජූනි මාසය අවසන් වන විට සැපරිය යුතු සියළු කාර්ය සාධන මට්ටම් සපුරාලීම පිළිබඳ ව දූත පිරිසේ ප්‍රශංසාව හිමි වේ. කෙ සේ වෙතත්, වැඩසටහනේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ගත් විට විශේෂවයන් ම ප්‍රතිසංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නො කර ක්‍රියාත්මක කළ යුතු ව ඇත. 

“ඒ අනුව, 2016 හා 2017 සඳහා වන ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වන එකතු කළ අගය මත බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමේ නෛතික ක්‍රියාවලිය රජය විසින් කඩිනම් කිරීම වැදගත් වේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට අඩු මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ බදු ආදායම් ඉහළ නැංවීම සඳහා මැනවින් සකස් කරන ලද ඉහළ ගුණාත්මකභාවයකින් යුතු බදු ප්‍රතිපත්තියක් ආධාරයෙන් 2017 වසරේ අය වැය සකස් කළ යුතු ව ඇත. වඩා පහසුවෙන් පුරෝකථනය කළ හැකි කාර්යක්ෂම හා සාධාරණ ව්‍යුහයක් බවට බදු ක්‍රමය නැවත පරිවර්තනය කිරීම සහ රටේ අපේක්ෂිත සමාජීය හා සංවර්ධන අභිමතාර්ථ සපුරා ගැනීමට උපකාරී වන අවශ්‍ය සම්පත් උත්පාදනය කර ගැනීම සඳහා නව දේශීය ආදායම් පනත සහ සම්බන්ධ නෛතික ක්‍රියාවලිය ආරම්භ කිරීම වැදගත් පියවරක් වනු ඇත. 

“උද්ධමනය ඉලක්කගත සීමාව තුළ පවත්වා ගැනීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම සම්බන්ධ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස යහපත් ආකල්පයක් දරයි. උද්ධමන පීඩන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරී ව අධීක්ෂණය කළ යුතු අතර උද්ධමනය හෝ ණය වර්ධනය අඛණ්ඩ ව ඉහළ යන්නේ නම් මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු ය. විදේශ අංශයේ පවතින පීඩනය අවම කිරීම පිණිස විදේශ සංචිත යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩ ව ප්‍රයත්න දැරීම සහ විදේශ විනිමය වෙළෙඳපොළ තවදුරටත් දියුණු කිරීම සඳහා විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය පවත්වා ගැනීම දිරිමත් කෙරේ. එහි දී මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් රාමුව ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය කරා ගමන් කිරීම සඳහා බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය සමඟ වූ සැලසුම් පිළිබඳ ව දූත පිරිස විසින් සාකච්ඡා පවත්වන ලදි.

“පසුගිය වසර කිහිපය තුළ ලද තාක්ෂණික සහාය ද පදනම් කර ගනිමින් රජය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කිරීම දූත මණ්ඩලය විසින් දිරිමත් කෙරේ. මැදිකාලීන සාර්ව ආර්ථික අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය සහ ගෝලීය සැලසුම් දාම සමඟ ඒකාබද්ධ වීම, ඉහළ මට්ටමක විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. තරගකාරීත්වය ඉහළ නැංවීම තුළින් වාණිජ කටයුතු වැඩිදියුණු කර ගැනීම මෙන් ම පෞද්ගලික අංශයේ වර්ධනය ඉහළ නංවා ගැනීම ද ආර්ථික වර්ධනය සඳහා උපකාරී වනු ඇත.”

මෙම සංචාරයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය කරුණානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද දූත පිරිස හමු විය. 

Published Date: 

Friday, September 23, 2016