මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 සැප්තැම්බර්

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7.0ක වර්ධනයට සාපේක්ෂ ව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වී ඇතැ යි තාවකාලික ව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනය සියයට 5.2ක් ලෙස සංශෝධනය කර ඇත. 

2016 වසරේ දෙවන කාර්තුව තුළ දී සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.9කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 2.2ක් වූ මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 5.6කින් සංකෝචනය විය. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සහ ව්‍යාපාර විශ්වාසය වැඩිදියුණු වීම මෙන් ම 2016 වසරේ හතර වන කාර්තුව තුළ දී පෙර වසරේ සමාන කාලයේ දී පැවැති අගයට සාපේක්ෂ ව පදනම් බලපෑම හේතුවෙන් වසරේ දෙවන භාගය තුළ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

විදේශ අංශය සැලකූ විට, ආනයන වියදම් පහළ යෑමට වඩා ඉහළ අගයකින් අපනයන ආදායම අඩු වීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හත තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 0.7කින් සුළු වශයෙන් ඉහළ ගියේ ය. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරමින් වසරේ පළමු මාස අට තුළ දී සංචාරක ඉපැයීම් සියයට 16.0කින් ඉහළ ගිය අතර 2016 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 4.5කින් ඉහළ ගියේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලැබීමත් සමඟ ඉහළ නැංවුණු විශ්වාසයට අමතර ව රජයේ සුරැකුම්පත්වල කරන ලද විදේශ ආයෝජන ඉහළ යෑම මෙන් ම රජය වෙත ලද වෙනත් මූල්‍ය ප්‍රවාහ දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළේ ස්ථායීතාවට උපකාරී විය. මෙම ප්‍රවණතා පිළිබිඹු කරමින් 2016 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක් දක්වා වර්ධනය වී ඇතැ යි ඇස්තමේන්තු කර ඇති අතර 2016 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත. 

දේශීය සැපයුම් තත්ත්ව යථා තත්ත්වයට පත් වීම මෙන් ම රාජ්‍ය බදු ප්‍රතිපත්තියේ සිදු කරන ලද සමහර සංශෝධන ක්‍රියාවට නැංවීම තාවකාලික ව අත් හිටුවීමේ බලපෑම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදකම මත උද්ධමනය 2016 වසරේ අගෝස්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේ ය. බදු සංශෝධන ක්‍රියාත්මක නො වීමේ බලපෑම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය ද අඩු වීමක් පෙන්නුම් කළේ ය. 

මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් ප්‍රසාරණය පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සාපේක්ෂ ව 2016 ජූලි මාසයේ දී සියයට 17.8ක ඉහළ අගයක පැවැතුණි. මුදල් සමස්තවල ප්‍රසාරණය සඳහා ප්‍රධාන වශයෙන් බැංකු අංශය මගින් පෞද්ගලික අංශය සහ රජය වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම හේතු වූ අතර රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය ජූලි මාසය තුළ දී තවදුරටත් පහළ ගියේ ය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා සපයන ලද ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය පෙර මාසයේ පැවැති සියයට 28.2 හා සසඳන විට 2016 ජූලි මාසයේ දී සියයට 28.5ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ගනු ලැබූ ක්‍රියා මාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වැඩි වූ වෙළෙඳපොළ පොලී අනුපාතික හේ්තුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දී ණය ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සලසමින් සාර්ව ආර්ථික තුලිතතාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන මට්ටමක් දක්වා මුදල් ප්‍රසාරණය සීමා කිරීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් බව 2016 සැප්තැම්බර් 27 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                             ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී 

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -            සියයට 7.00 

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                   සියයට 8.50 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                          සියයට 7.50

Published Date: 

Wednesday, September 28, 2016