ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු ජාත්‍යන්තර වශයෙන් එතිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධ වන අතර එ මගින් ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත. තව ද, දේශ සීමා හරහා සිදු වන භාණ්ඩ හුවමාරුව සහ පුද්ගල ආගමන විගමන තවදුරටත් පුළුල් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සීඝ්‍රයෙන් නවීකරණය වී ඇති බැවින් ඒවා අනාවරණය කර ගැනීමේ අසීරුතා ද මතු වී ඇත. ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අතර දේශීය වශයෙන් පවතින සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් පුළුල් වීම තුළින් දේශ සීමා හරහා සිදු වන නීති විරෝධී භාණ්ඩ හුවමාරු හා පුද්ගල ආගමන විගමන කටයුතු වැළැක්වීම සහ ශක්තිමත් දේශ සීමා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත. 

මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව සමඟ මෙ වැනි ම අවබෝධතා ගිවිසුමකට එළැඹි ඇති අතර ඉහත කරුණ සම්බන්ධයෙන් අනෙකුත් අදාළ දේශීය රාජ්‍ය ආයතන සමඟ ඉතා ඉක්මනින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත. 

Published Date: 

Thursday, October 6, 2016