ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 සැප්තැම්බර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ 53.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දීී 57.7ක් දක්වා දර්ශක අගයන් 4.2කින් ඉහළ ගියේ ය. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක ඉහළ ගියේ ය. කෙ සේ නමුත්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 හි පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් අගයට වඩා වැඩි අගයක් වාර්තා විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාරුවන්ගේ දර්ශකය 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ 61.2ක දර්ශක අගයක සිට සැප්තැම්බර් මාසයේ දී 57.7ක දර්ශක අගයක් වාර්තා කළේ ය. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම පහළ යෑමෙන් 2016 සැප්තැම්බර් මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ නිම කිරීමට ඇති කාර්යයන් යන උප දර්ශකවල සිදු වූ පහළ යෑමි සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම පහළ යෑමට හේතු විය. එ නමුත්, පසුගිය මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකය ඉහළ ගියේ ය. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2016 සැප්තැම්බර් මාසයේ දී අඩු වේගයකින් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, October 14, 2016