දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි. 

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධ වන අතර එ මගින් ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත. ලොව පුරා බදු අපරාධ වර්ධනය වීමත් සමඟ බදු ගෙවීම් පැහැර හැරීම මූලික වරදක් ලෙස සැළකිය යුතු බවට මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් රටවලට නිර්දේශ කර ඇත. මෙ වැනි පසුබිමක් යටතේ මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර දේශීය වශයෙන් පවතින සම්බන්ධීකරණය සහ සහයෝගීතාව, බදු මුදල් ගෙවීමට පැහැර හැරීමට අදාළ ව සිදු වන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වේ.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ මෙ වැනි ම අවබෝධතා ගිවිසුම්වලට එළැඹි ඇති අතර අදාළ අනෙකුත් දේශීය රාජ්‍ය ආයතන සමඟ ද හැකි ඉක්මනින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත. 

 

Published Date: 

Monday, October 24, 2016