ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ඔක්තෝබර්

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ 57.7ට සාපේක්ෂ ව 2016 ඔක්තෝබර් මාසයේ දී 56.5ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් පසුගිය මාසයට සාපේක්ෂ ව 2016 ඹක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතුවල ප්‍රසාරණයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ලබයි. මේ සඳහා නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකයන්ගේ මන්දගාමීත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. එළඹෙන උත්සව සමයට තොග රැස් කිරීමේ ප්‍රතිළුලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය ඔක්තෝබර් මාසයේ දී සැලකිය යුුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ආන්තික ව වර්ධනය විය. මේ අතර සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව සුළු වශයෙන් පහත වැටුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ 57.7ක දර්ශක අගයක සිට ඔක්තෝබර් මාසයේ දී 59.3ක දර්ශක අගයක් දක්වා ඉහළ ගියේ ය. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම ඉහළ යෑමෙන් 2016 ඔක්තෝබර් මාසයේ දී සේවා අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ නිම කිරීමට ඇති කාර්යයන් යන උප දර්ශකවල සිදු වූ ඉහළ යෑම් සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සිදු වූ මෙම ඉහළ යෑමට හේතු විය. එ නමුත්, පසුගිය මාසය හා සැසඳීමේ දී 2016 ඔක්තෝබර් මාසයේ දී නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගියේ ය. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2016 ඔක්තෝබර් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, November 15, 2016