ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නියුතු සමාගම් වෙත බලපත්‍ර නිකුත් කිරීම, නියාමනය සහ අධීක්ෂණය

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත මඟින් මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නො වූ ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩිදියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ස්ථායීතාව සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ. 

ක්ෂුද්‍රමූල්‍ය පනත 2016 ජූලි මස 15 වැනි දින සිට බලාත්මක වේ. මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, එම සමාගම් වෙත නීති සහ විදාන නිකුත් කිරීම හා ක්ෂුද්‍රමූල්‍ය/ක්ෂ්‍රදුණය රාජ්‍ය නො වන සංවිධාන අධීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත බලය පැවරී ඇත. 

ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධිවිධානයන්ට අනුව එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව බලපත්‍රය ලබා ගැනීම සඳහා වන නිර්ණායක සහ බලපත්‍ර ගාස්තුව වශයෙන් නීති දෙකක් ද ප්‍රාග්ධනය, ද්‍රවශීල වත්කම්, ව්‍යවස්ථාපිත සංචිත, තැන්පතු, ණය පහසුකම්, කොටස් හිමියන් පිළිබඳ තක්සේරුව, බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල පාලන කටයුතු සිදු කරන පුද්ගලයන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාව තහවුරු කිරීම සහ වාර්තා කිරීමේ අවශ්‍යතා වැනි ප්‍රධාන විචක්ෂණශීලී අවශ්‍යතා ආවරණය වන පරිදි විධාන අටක් ද 2016 ඔක්තෝබර් 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත. 

ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ බලපත්‍රය සඳහා වන නිර්ණායක සපුරාලන ක්ෂුද්‍රමූල්‍ය සමාගම්වලට බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකි ය. පසු ව ඒවා මුදල් මණ්ඩලය මගින් ඇගැයීමකට ලක් කෙරේ. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්වල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව විචක්ෂණශීලී විධාන මගින් තහවුරු කෙරේ. 

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කිරීමට යෝජිත මාර්ගෝපදේශ පිළිබඳ ව මේ වන විට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා මට්ටමේ පවතින අතර ඉතා කෙටි කලෙකින් එම මාර්ගෝපදේශ මුදල් මණ්ඩලය විසින් නිකුත් කිරීමට නියමිත ය.

 

Published Date: 

Tuesday, November 29, 2016