2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2026 වර්ෂයේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ පහත දක්වා ඇති පරිදි රුපියල් ලක්ෂ තිස් තුන (රු.3,300,000.00) ක සමස්ත වටිනාකමකින් යුත් මුදලක් පරිපාලනමය දණ්ඩන ලෙස අයකරගෙන ඇත. එලෙස දණ්ඩන මඟින් අයකරගත් මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.
|
වාර්තාකරණ ආයතන |
දණ්ඩන සහ අනුකූල නොවීම් වල විස්තර |
|
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී |
දණ්ඩනය පනවන ලද දිනය : 09.04.2026 වටිනාකම : රු. 3,000,000.00 (රුපියල් මිලියන තුනකි) දණ්ඩනය ගෙවන ලද දිනය : 21.04.2026 දණ්ඩනය පැනවීමට හේතු:
i. නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර කිසියම් ගනුදෙනුකරුවෙකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායී ලෙස සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම නිසා 2024.06.03 දිනැති අංක 2387/02 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තකු සමග සමාගම ව්‍යාපාරික සබඳතා ස්ථාපිත කිරීම,
ii. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද නම් කරන ලද ලැයිස්තු යාවත්කාලීන වන විට, එම ලැයිස්තුවල ඇතුළත් නම් කරන ලද පුද්ගලයෙකු හෝ ආයතනයක් සමඟ කිසිදු ව්‍යාපාරික සම්බන්ධතාවයක් නොපවතින බව සහතික කිරීම සඳහා පවතින පාරිභෝගික දත්ත සමුදාය ඵලදායී ලෙස පරීක්ෂා කිරීමට සමාගම අපොහොසත් වීම නිසා 2025.02.20 දිනැති අංක 2424/51 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ සහ 2025.05.30 දිනැති අංක 2438/47 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තකු සමග සමාගම ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යාම, සහ
iii. 2024.06.03 දිනැති අංක 2387/02 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ සහ 2025.02.20 දිනැති අංක 2424/51 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තු සමාගමේ පද්ධතියෙහි යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දණ්ඩනය පනවන ලදී. ඉහත අනුකූල නොවීම්, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරන ලද ඉලක්කගත/ හදිසි එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී. |
|
නිව් නටාෂා ප්‍රයිවට් ලිමිටඩ් |
දණ්ඩනය පනවන ලද දිනය : 15.05.2026 වටිනාකම : රු. 300,000.00 (රුපියල් ලක්ෂ තුනකි) දණ්ඩනය ගෙවන ලද දිනය : 03.06.2026 දණ්ඩනය පැනවීමට හේතු :
i. රුපියල් ලක්ෂ දෙකක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු සඳහා ව්‍යාපාරික සම්බන්ධතාවයන් ස්ථාපනය කිරීමේදී ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කරන අතරතුර ගනුදෙනුවේ අරමුණ, ඉපයීම වල ප්රභවය, දුරකතන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, රැකියාව සහ දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තෙකුද යන වග, යනාදී අනිවාර්ය තොරතුරු ලබා ගැනීමට අපොහොසත් වීම,
ii. රුපියල් ලක්ෂ දෙකක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු සිදු කරනු ලබන ගනුදෙනුකරුවන්ට අදාලව හඳුනාගැනීමේ ලේඛනයෙහි පිටපතක් ලබා ගැනීමට සහ පවත්වාගෙන යාමට අපොහොසත් වීම
iii. සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කිරීමට අපොහොසත් වීම, සහ
iv. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාලව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද තැනැත්තන්, ආයතන හෝ කණ්ඩායම් වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම, හේතුවෙන් මෙම දණ්ඩනය පනවන ලදී.
පද්ධති සහ කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයෙන් අනාවරණය නොවීය.
ඉහත අනුකූල නොවීම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනාගෙන ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරන ලදී. |








