2016 නොවැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට 2016 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය. 2016 නොවැම්බර් මස ලන්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 නොවැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 නො වෙනස් ව පැවැතුණි. 

මාසික වෙනස් වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 114.7 සිට 2016 නොවැම්බර් මාසයේ දී දර්ශක අංක 116.6 දක්වා ඉහළ ගියේ ය. මෙම මාසික ඉහළ යෑම සඳහා ආහාර නො වන අයිතම අයත් කාණ්ඩයේ රෙදිපිළි හා පාවහන්; නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ; ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; හා විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. තව ද, ප්‍රවාහන; සහ ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගිය අතර අධ්‍යාපන උප කාණ්ඩයේ මිල ගණන් නො වෙනස් ව පැවැතුණි. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, එළවළු, දෙහි සහ අර්තාපල් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. 

තව ද, මධ්‍යසාර පාන සහ දුම්කොළ උප කාණ්ඩයේ මිල ගණන් ද 2016 නොවැම්බර් මාසය තුළ දී ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන සහ දුම්කොළ; සෞඛ්‍ය සහ සන්නිවේදන උප කාණ්ඩවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් කෙරෙහි නව එකතු කළ අගය මත පනවන ලද බදු අනුපාත ප්‍රධාන වශයෙන් හේතු විය. 

අාර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපළුය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී පැවැති සියයට 5.7 හි සිට නොවැම්බර් මස දී සියයට 6.8 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමානය මූල්‍ය උද්ධමනය 2016 ඔක්තෝබර් මස වාර්තා වූ සියයට 5.7 සිට 2016 නොවැම්බර් මස දී සියයට 5.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, December 21, 2016