2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක් වාර්තා විය

2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, දර්ශකාංක 57.8ක අගයක් වාර්තා කළේය. නව ව්‍යාපෘති අඛණ්ඩව ආරම්භ වීම, ඉදිකිරීම් අංශයේ පෙන්නුම් කළ වර්ධනයට දායක විය. කෙසේ වෙතත්, බිටුමන් (තාර) හිඟය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සදහා ප්‍රධාන බාධකයක් ලෙස පවතින අතර, ඒ හේතුවෙන් මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක කටයුතු ප්‍රමාද විය.

රජය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල දායකත්වය හේතුවෙන් නව ඇණවුම් දර්ශකය සැප්තැම්බර් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ ගියේය. මේ අතර, ඉදිකිරීම් ව්‍යාපෘති කටයුතු අඛණ්ඩව පැවතීමත් සමඟ සේවක බඳවා ගැනීම් තවදුරටත් සිදු කිරීම හේතුවෙන් සේවා නියුක්ති දර්ශකය පෙර මාසයට සාපේක්ෂව, අඩු වේගයකින් වුවද, වර්ධනය විය. එහෙත්, පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය තවදුරටත් පවතින බව බොහෝ ආයතන විසින් වාර්තා කරන ලදී. දැනට ක්‍රියාත්මක වන සහ අලුතින් ප්‍රදානය කරන ලද ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම් ඉහළ යෑමත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය වැඩි වේගයකින් වර්ධනය විය. සැපයුම් අංශයේ තවදුරටත් පවතින පීඩනයන් පිළිබිඹු කරමින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ ගියේය.

අමුද්‍රව්‍ය සහ පුහුණු ශ්‍රමිකයන් සපයා ගැනීමේ අභියෝග තවදුරටත් පැවතුණද, නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පැවතුණි.

PDF

Published Date: 

Friday, October 30, 2026