ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත් වේ. මූලික වශයෙන් මෙම වාර්තාව මගින් 2026 ජූනි මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කර ඇත. මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

(https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/ආර්ථික-සහ-මූල්‍ය-වාර්තා/මූල්‍ය-පද්ධති-ස්ථායීතා-විවරණය)

2026 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ:

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව ද, 2026 වසරේ පළමු භාගයේ දී ස්ථායීව පැවතුණු අතර, ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම, බැංකු සහ මුදල් සමාගම්වල ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ස්වාරක්ෂක අඛණ්ඩව ප්‍රමාණවත් පරිදි පැවතීම සහ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු වීම ඒ සඳහා හේතු විය. දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් ස්ථායීව පැවතිය ද ගෝලීය අවිනිශ්චිතතාවන් තීව්‍ර වීම හේතුවෙන් දේශීය ආර්ථිකයට අහිතකර  බලපෑම් එල්ල වීමේ අවදානම ඉහළ ගියේය. සලකා බැලෙන කාලසීමාව තුළ දී ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් වැඩිදියුණු වීම සහ මූල්‍ය අංශයේ ශක්තිමත් කාර්යසාධනය මූල්‍ය පද්ධති ස්ථායීතාව සඳහා සහාය විය. මෙම වර්ධනයන් මගින් බාහිර අවිනිශ්චිතතාවන් හමුවේ ශක්තිමත් ආරක්ෂාවක් සැපයූ අතර, එය මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාවට ද සහාය විය. කෙසේ වුවද, බාහිර පරිසරය අභියෝගාත්මකව පැවතුණි. භූදේශපාලනික ආතතීන් උත්සන්න වීම, ගෝලීය උද්ධමන පීඩන යළි ඉහළ යෑම, බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම, වෙළෙඳ කටයුතු බිඳවැටීම්, දේශගුණය ආශ්‍රිත අවදානම් ඉහළ යෑම සහ දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් මගින් දේශීය ආර්ථිකය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති විය. ශ්‍රී ලංකාව වෙළෙඳාම, සංචාරක ඉපැයීම්, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, ප්‍රාග්ධන ප්‍රවාහ, බාහිර මූල්‍යකරණ තත්ත්වයන් සහ විනිමය අනුපාතිකයේ වෙනස් වීම වැනි සාධක මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම හේතුවෙන් අහිතකර බාහිර වෙනස්වීම්වලට විශේෂයෙන්ම නිරාවරණය වී පැවතුණි. දේශීය තත්ත්වයන් සලකා බැලීමේ දී, විශේෂයෙන් වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබා දෙන ණය ඇතුළු කුටුම්බ ණය වර්ධනය වීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය පරතරය අඛණ්ඩව පුළුල් වූ අතර, එමගින් පද්ධතිමය අවදානම් ගොඩනැගීමට ඇති හැකියාව පෙන්නුම් කෙරිණි. තවද, මූල්‍ය අංශය, රාජ්‍ය අංශය වෙත නිරාවරණය වීම අඩු වුව ද, එය තවදුරටත් සැලකිය යුතු මට්ටමක පැවතීම මගින් මූල්‍ය අංශය සහ රාජ්‍ය අංශය අතර තවදුරටත් පවතින සැලකිය යුතු සහසම්බන්ධය අවධාරණය විය. ඉහළ යන කුටුම්බ අංශයේ ණයගැතිභාවය, ඇපකර මත ලබා දෙන ණය ඉහළ යන අතරම එම ඇපකරවල වටිනාකම උච්චාවචනය වීම, දේපළ මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම සහ උද්ධමන පීඩන හේතුවෙන් මතු වෙමින් පවතින අවදානම් තවදුරටත් ඉස්මතු විය. මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන්, ආර්ථිකය තුළ අවදානම් ගොඩනැගීම පාලනය කිරීමේ අරමුණින්, මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවූ අතර,  වාහන සහ රන් ඇපකර මත ලබා දෙන ණය සඳහා වන වටිනාකම මත ණය අනුපාතික සීමාවන් ඇතුළුව සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී.

මෙම කාලසීමාව තුළ දේශීය මූල්‍ය වෙළෙඳපොළ බොහෝ දුරට ස්ථායීව පැවති අතර මූල්‍ය ආතති දර්ශකය සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවතුණි. ඉහළ ගිය ගෝලීය අවිනිශ්චිතතාව, දේශීය උද්ධමනය පිළිබඳ ගැටලු සහ දැඩි මුදල් තත්ත්වයන් මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් කෙරෙහි බලපෑවේය. ආයෝජක විශ්වාසය මන්දගාමී වීම මධ්‍යයේ කොටස් වෙළෙඳපොළ කාර්යසාධනය මන්දගාමී වූ අතර, වෙළෙඳපොළ ද්‍රවශීලතාව දුර්වල වී වෙළෙඳපොළ උච්චාවචන ඉහළ ගියේය. සලකා බැලෙන කාලසීමාව තුළ වෙළෙඳපොළ අපේක්ෂාවන් විකාශනය වීම සහ ඉන් අනතුරුව සිදු වූ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් සියලුම කල්පිරීම් සහිත රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික ඉහළ ගියේය. ද්විතීයික වෙළෙඳපොළ ද්‍රවශීලතාව සාපේක්ෂ වශයෙන් මන්දගාමී මට්ටමක පැවති අතර එමගින් දේශීය ණය සුරැකුම්පත් වෙළෙඳපොළේ ධාරිතාව සහ වෙළෙඳ ක්‍රියාකාරකම්වල සීමිත බව පෙන්නුම් කළේය. මේ අතර, සලකා බලන කාලපරිච්ඡේදයේ අවසාන භාගයේ දී මෙම වෙළෙඳපොළ තුළ විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය යම් වැඩි වීමක් දක්නට ලැබුණ ද එය තවදුරටත් අඩු මට්ටමක පැවතුණි. විශේෂයෙන් මැදපෙරදිග ආතතීන් උත්සන්න වීමත් සමඟ ඉහළ ආනයන වියදම්, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ ආයෝජක විශ්වාසය වෙනස්වීම හේතුවෙන් විදේශ විනිමය සඳහා වන ඉල්ලුම ඉහළ යෑම පිළිබිඹු කරමින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ, පීඩනකාරී කාලපරිච්ඡේදයන්ට මුහුණ දුන්නේය. මෙම තත්ත්වය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට දායක විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය හා අපනයන මගින් නොකඩවා ලද විදේශ විනිමය ගලා ඒම් සහ වරින් වර තෙල් මිල ගණන් පහත වැටීම මෙන්ම ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් වෙළෙඳපොළ තත්ත්වයන් පසුව වැඩිදියුණු විය. මෙම කාලසීමාව තුළ මුදල් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ශක්තිමත් වූ අතර, සමස්ත ද්‍රවශීලතාව අතිරික්තයක් වාර්තා කරමින් පොලී අනුපාත ද මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව පැවතුණි. ඩිජිටල්කරණය සහ පියවීම් යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීම් හේතුවෙන් ගෙවීම් සහ පියවීම් පද්ධතීන්හි මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කළේය. ඩිජිටල් මූල්‍ය සේවා අඛණ්ඩව ව්‍යාප්ත වීම මගින් ඵලදායීතාව සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ ගිය ද සයිබර් තර්ජන, තෙවන පාර්ශ්වීය අවදානම් සහ මෙහෙයුම් අවදානම්වලට මූල්‍ය පද්ධතිය නිරාවරණය වීම ඉහළ ගියේය. ඩිජිටල් සම්බන්ධතා වඩාත් පුළුල් වෙමින් සහ තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා සයිබර් තර්ජනවලට මුහුණ දීමට ප්‍රමාණවත් හැකියාවක් සහ සූදානමක් පවතින බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.

සලකා බලන කාලපරිච්ඡේදය තුළ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම, ශක්තිමත් ලාභදායීත්වය සහ ප්‍රමාණවත් ප්‍රාග්ධන සහ ද්‍රවශීල ස්වාරක්ෂක මගින් ලද සහාය හේතුවෙන් මූල්‍ය ආයතන සමස්තයක් වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කළේය. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ශක්තිමත් වීම හේතුවෙන් බැංකු අංශයේ ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර පරිභෝජනය, වෙළෙඳාම, මූල්‍ය සේවා, ඉදිකිරීම් සහ අක් වෙරළ යන අංශ වෙත ණය ලබාදීම් කැපී පෙනෙන ලෙස වර්ධනය වීම දක්නට ලැබුණි. අදියර 3 යටතේ පවතින ණය අනුපාතය පහත වැටීම සහ එම අදියර යටතේ පවතින ණය හානිකරණ ආවරණ අනුපාතය වැඩිදියුණු වීම මගින් බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යෑම පෙන්නුම් කළේය. කෙසේ වුවද, 2026 වසරේ දෙවන කාර්තුවේ දී අදියර 2 යටතේ පවතින ණය ප්‍රමාණය ඉහළ ගිය අතර, ඉහළ ණය වර්ධනයක් පවතින පසුබිමක ණයගැනුම්කරුවන් සම්බන්ධයෙන් ණය අවදානමක් ඇති වීමේ ප්‍රවණතාවක් එමගින් පෙන්නුම් කෙරේ. සලකා බලන කාලසීමාව තුළ, බැංකු අංශයේ ද්‍රවශීලතා අනුපාත පහළ ගිය ද, ඒවා නියාමන අවශ්‍යතාවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතුණි. විශේෂයෙන් රජයේ සුරැකුම්පත් වැනි ඉහළ ගුණාත්මක බවින් යුතු ද්‍රවශීල වත්කම්වල සිට පෞද්ගලික අංශයට ණය ලබාදීම් වෙත බැංකු අංශයේ වත්කම් සංයුතිය වෙනස් වීම මෙමගින් පිළිබිඹු විය. මේ අතර, බැංකු අංශයේ කෙටි කාලීන වත්කම් සහ වගකීම්වල කල්පිරීම් තුළ වූ නොගැළපීම පුළුල් වූ අතර, එමගින් අනපේක්ෂිත ආතති තත්ත්වයකදී බැංකු අංශය තුළ ප්‍රතිමූල්‍යකරණ සහ ද්‍රවශීලතා අවදානම් මතු වීමේ හැකියාව ඉහළ ගියේය. තවද, බැංකු අංශයේ ලාභදායීත්වය අඛණ්ඩව වර්ධනය වුව ද එහි වර්ධන වේගය 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව තරමක් මන්දගාමී විය. ලාභදායීත්වය ඉහළ යෑම හේතුවෙන් ප්‍රාග්ධනය අඛණ්ඩව ගොඩනැගුණ ද, අවදානම මත බර තැබූ වත්කම්වල වර්ධන වේගය, ප්‍රාග්ධනය එක්රැස් වීමේ වේගය ඉක්මවා ගිය බැවින් බැංකු අංශයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත යම් ප්‍රමාණයකින් පහළ ගියේය. මෙම මන්දගාමී වීම හමුවේ වුව ද, ප්‍රාග්ධන ස්වාරක්ෂක නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පැවති අතර, ඇති විය හැකි අහිතකර කම්පන අවශෝෂණය කර ගැනීමට ඒවා ප්‍රමාණවත් වනු ඇත.

වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබා දෙන ණය සඳහා පැවති ඉල්ලුම  ඉහළ යෑම හේතුවෙන් මුදල් සමාගම් අංශය තුළ සැලකිය යුතු ණය වර්ධනයක් වාර්තා විය. අදියර 3 යටතේ පවතින ණය අනුපාතය වැඩිදියුණු වුව ද, අදියර 2 යටතේ පවතින ණය තියුණු ලෙස ඉහළ යෑම මගින් මුදල් සමාගම් අංශය තුළ ණය අවදානම ඉහළ යමින් පවතින බව පෙන්නුම් කළේය. මේ සඳහා දිට්වා සුළි කුණාටුවේ සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ අහිතකර බලපෑම්වලට ණයගැනුම්කරුවන් ලක් වීම හේතු වූ අතර වත්කම්වල ගුණාත්මකභාවය ආශ්‍රිත වර්ධනයන් සහ ආංශීය අවදානම් තත්ත්වයන් ගොඩ නැගීමට ඇති හැකියාව අඛණ්ඩව අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය එමගින් අවධාරණය කරයි. තවද, ණය හානිකරණ ආවරණ අනුපාතය පහත වැටුණු අතර, එමගින් අංශය තුළ අලාභ අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාවේ පිරිහීමක් පෙන්නුම් කළේය. මුදල් සමාගම් අංශයේ ද්‍රවශීලතා ස්වාරක්ෂක ප්‍රමාණවත් මට්ටමක සහ නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පැවතිය ද, ණය ප්‍රසාරණය මධ්‍යයේ ද්‍රවශීලතා අනුපාත පහළ ගියේය. මේ අතර, තැන්පතුවලට සාපේක්ෂව ණයගැනීම් වේගයෙන් වර්ධනය වීම මගින් මුදල් සමාගම් සහ බැංකු අතර පවතින අන්තර් සම්බන්ධතාව වර්ධනය වීම පෙන්නුම් කළේය. ශුද්ධ පොලී ආදායම හේතුවෙන් මුදල් සමාගම් අංශයේ ලාභය අඛණ්ඩව ඉහළ ගිය ද, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ ලාභය වර්ධනය වීමේ වේගය අඩු විය. ණය ප්‍රසාරණය හේතුවෙන් අවදානම මත බර තබන ලද වත්කම් ඉහළ යෑමත් සමඟ මුදල් සමාගම් අංශයේ ප්‍රාග්ධන ස්වාරක්ෂක පහළ ගියේය. රක්ෂණ අංශයේ ලාභදායීත්වය අඩු වුව ද ප්‍රාග්ධනීකරණය ප්‍රමාණවත් මට්ටමක පැවතුණි. දිට්වා සුළි කුණාටුවෙන් පසුව රක්ෂණ හිමිකම් ඉල්ලීම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් ප්‍රතිරක්ෂණ ආදායම් ඉහළ ගිය අතර ප්‍රාරක්ෂණය, ද්‍රවශීලතාව සහ ප්‍රතිපාර්ශ්වීය අවදානම් ඉහළ ගියේය.

2026 වසරේ පළමු භාගය තුළ දී, කුටුම්බ සහ ආයතනික යන අංශ  දෙක සඳහා ලබා දුන් ණය ඉහළ ගියේය. කුටුම්බ අංශයේ ණය වර්ධනය ඉහළ මට්ටමක පැවතිය ද, එම කාලසීමාව අවසානයේ දී එහි සුළු මන්දගාමී වීමක් දක්නට ලැබුණි. බැංකු නොවන මූල්‍ය ආයතන විසින් කුටුම්බ අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය 2026 වසරේ පළමු භාගයේ දී තවදුරටත් ඉහළ ගිය ද, කුටුම්බ අංශය සඳහා ණය ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රය ලෙස බැංකු අංශය අඛණ්ඩව පැවතුණි. තවද, සමස්ත ණය ශ්‍රේණිගත කිරීම් මගින් පෙන්නුම් කෙරෙන පරිදි, කුටුම්බ අංශයේ ණයගැනුම්කරුවන්ගේ අවදානම් තත්ත්වය 2026 වසරේ පළමු භාගය තුළ බොහෝ දුරට ස්ථාවර මට්ටමක පැවතුණි. ආයතනික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය ද වේගවත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, එම අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතය බැංකු අංශය මගින් ලබා දෙන ලදී. මේ අතර, 2026 වසරේ පළමු භාගය තුළ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් අංශය  ඉහළ පිරිවැටුම් වර්ධනයක් වාර්තා කළ ද, සමස්ත ලාභදායීත්වය දුර්වල විය. විකුණුම් පිරිවැයෙහි සහ මෙහෙයුම් වියදම් ඉහළ යෑම හේතුවෙන් සමස්ත ලාභය පහත වැටුණි. සමස්ත ලාභදායීත්වයේ සහ ණය සේවාකරණ හැකියාවේ යම් පහත වැටීමක් පෙන්නුම් කරමින් ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් අංශයේ ණය විශ්වාසනීයත්වය තරමක් අඩු විය.

මූල්‍ය අංශයේ ඇති වූ වර්ධනයන් සහ මතු වෙමින් පවතින අවදානම්වලට ප්‍රතිචාර වශයෙන්, සලකා බලන කාලසීමාව තුළ විවිධ ප්‍රතිපත්තිමය පියවර ගන්නා ලදී. වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබාදෙන ණය වේගයෙන් ප්‍රසාරණය වන පසුබිමක් තුළ, අධික ණයබර පාලනය කිරීමට සහ මතු වෙමින් පවතින අවදානම් අවම කිරීමට ණයගැනුම්කරු පාදක කරගත් සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග දැඩි කරන ලදී. විචක්ෂණශීලී ණය ලබාදීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ පද්ධතිමය අවදානම් වර්ධනය වීම සීමා කිරීම අරමුණු කරගනිමින් මෝටර් රථ මූල්‍යකරණය සඳහා වන වටිනාකම මත උපරිම ණය අනුපාතය පිළිබඳ රාමුව සරල කිරීම හා එම සීමා දැඩි කිරීම මෙන්ම, රන් ඇපකර මත පදනම් වූ ණය සඳහා වටිනාකම මත උපරිම ණය සීමාවක් හඳුන්වා දීම මෙම පියවරවලට ඇතුළත් විය. රන් ඇපකර මත පදනම් වූ ණය සඳහා වන වටිනාකම මත ණය සීමාවන්ට අමතරව, අදාළ අවදානම මත බර තැබීම් ද සලකා බලන කාලසීමාව තුළ දැඩි කරන ලදී. දිට්වා සුළි කුණාටුවේ අහිතකර බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන්, පීඩාවට පත් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස නියම කරමින් මහ බැංකුව විසින් බැංකු සහ මුදල් සමාගම් වෙත චක්‍රලේඛ නිකුත් කරන ලදී. බැංකු සහ මුදල් සමාගම් අංශවල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ කිරීමේ මුලපිරීම්වලට සමගාමීව, එම ආයතන සඳහා වන ප්‍රතිසාධන සැලසුම් පිළිබඳ විධාන ද නිකුත් කරන ලදී. ඩිජිටල් ගෙවීම් මාධ්‍ය ආශ්‍රිත මූල්‍ය වංචා සහ රැවටිලි ක්‍රියාවන් ඉහළ යෑමත් සමඟ, ඩිජිටල් ගෙවීම් ක්‍රමවල ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ මහජන දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය මුලපිරීම් මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද මූල්‍ය ආයතන සඳහා වන නිරාකරණ රාමුව, මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යයනය මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබීය. ඒ සමඟම මුදල් විශුද්ධිකරණය පිලිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායම (Asia Pacific Group on Money Laundering - APG) විසින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යයනය මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් විය. මීට අමතරව මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.

ඉදිරි දැක්ම

මූල්‍ය ස්ථායීතාව සඳහා වන ඉදිරි දැක්ම බොහෝ දුරට ධනාත්මකව පවතින අතර ඒ සඳහා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉදිරියට ගෙන යෑම සහ විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන කරුණු අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, භූදේශපාලනික සහ මූල්‍ය වෙළෙඳපොළ අවිනිශ්චිතතා ඇතුළු බාහිර තත්ත්වයන් මෙන්ම, ඉහළ ණය වර්ධනය හා ඇතැම් අංශ තුළ ණය කේන්ද්‍රගතවීම හේතුවෙන් ඇති විය හැකි දේශීය අවදානම් සහ වර්ධනය වන සයිබර් අවදානම් මත මෙම ඉදිරි දැක්ම රඳා පවතී. එබැවින්, මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කරගැනීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය සහ කාලෝචිත ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ඉදිරියටත් වැදගත් වනු ඇත. භූදේශපාලනික ආතති සහ බලශක්ති මිල ඉහළ යෑම් දිගුකාලීනව පැවතීම හේතුවෙන්, විදේශීය ගිණුමේ ශේෂයන් දුර්වල වීම සහ උද්ධමන පීඩන ඉහළ නැංවීමට හේතු විය හැකි අතර, එමගින් ණයගැනුම්කරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති වනු ඇත. මෙම බලපෑම් මගින් කුටුම්බ අංශය වෙත ඇපකර මත ලබා දෙන ණයවල ඉහළ වර්ධනය, අදියර 2 යටතේ පවතින ණය ඉහළ යෑම සහ ද්‍රවශීලතාව හා ප්‍රාග්ධන ස්වාරක්ෂක පහළ යෑම ඇතුළු දැනට පවතින දේශීය අවදානම් තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කළ හැකිය. ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට, වෙළෙඳපොළ ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමට, දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීමට සහ වඩා ස්ථාවර සහ පුළුල් විදේශීය ආයෝජක පදනමක් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව මත මූල්‍ය වෙළෙඳපොළෙහි ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවෙනු ඇති අතර, එමගින් කම්පන අවශෝෂණය කර ගැනීමට සහ කාර්යක්ෂම වත්කම් මිල ගණන් සොයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සහාය වීමට වෙළෙඳපොළ සතු හැකියාව වැඩිදියුණු වනු ඇත. සමස්තයක් ලෙස, මූල්‍ය ස්ථායීතාව පවත්වා ගෙන යෑම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ ප්‍රගතිය මගින් සහාය ලැබෙන, විචක්ෂණශීලී මුදල්, සාර්ව විචක්ෂණ හා නියාමන ප්‍රතිපත්තිවල මනා සංයෝජනයක් අවශ්‍ය වනු ඇත. ඒ අනුව, මූල්‍ය ආයතන තුළ ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ස්වාරක්ෂක පවත්වා ගැනීමට, දේශගුණික හා සයිබර් අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීමට, නිරාකරණ හා අර්බුද සඳහා සූදානම් වීමේ රාමු වැඩිදියුණු කිරීමට, සහ පවතින ආර්ථික ක්‍රියාකාරකම් හා අවදානම් තත්ත්වයන්ට අනුව ණය වර්ධනය වීම සහතික කිරීම සඳහා මූල්‍ය අංශයේ  අවධානය යොමු කළ යුතුය. මෙම උත්සාහයන් පද්ධතිමය අවදානම් ගොඩනැගීම අවම කිරීමට, මූල්‍ය පද්ධතියේ කම්පන අවශෝෂණය කරගැනීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මැදිකාලීනව මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කරගැනීමටත් අත්‍යවශ්‍ය වනු ඇත.

PDF

 

 

Published Date: 

Monday, October 12, 2026