මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක් ලෙස වාර්තා විය.
2026 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගිය අතර, ඒ සඳහා ඉහළ ආනයන වියදම සහ අඩු අපනයන ආදායම හේතු විය. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් බිලියන 3.9ක් වූ සමුච්චිත වෙළඳ හිඟය 2026 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එ.ජ. ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගියේය.
මාසික ඉන්ධන ආනයන වියදම 2026 වසරේ ජූනි මාසයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 465 සිට 2026 වසරේ ජූලි මාසයේ දී එ. ජ. ඩොලර් මිලියන 453ක් දක්වා සුළු වශයෙන් අඩු විය. කෙසේ වෙතත්, 2026 වසරේ ජූලි මාසයේ දී ඉන්ධන ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 68.0කින් ඉහළ ගිය අතර, ප්‍රධාන වශයෙන් බොරතෙල් ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම ඊට හේතු විය. 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 3,622ක් වූ අතර එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 59.9ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයකි..
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ ජූලි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 241ක් විය. මේ අතර, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම එ.ජ.ඩොලර් මිලියන 1,495ක් විය.
2026 වසරේ ජූලි මාසයේ දී ආනයන මිල ගණන්වල වැඩිවීම අපනයන මිල ගණන්වල වැඩිවීමට වඩා වේගවත් වූ බැවින්, වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එමෙන්ම, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ මිල අනුපාතය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පහළ ගියේය.
2026 වසරේ ජූලි මාසයේ දී සේවා ගිණුම එ.ජ. ඩොලර් මිලියන 244ක අතිරික්තයක් වාර්තා කළ අතර, එය 2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 23.0ක පහළ යෑමකි. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් සංචාරක ඉපැයීම් ඉහළ යෑම හේතුවෙන්, පෙර මාසයට සාපේක්ෂව එම අතිරික්තය සියයට 50.7කින් ඉහළ ගියේය. මාසික සේවා ගිණුම් අතිරික්තයේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත දක්නට ලැබුණු අඛණ්ඩ මන්දගාමී ස්වභාවය පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සේවා ගිණුම් සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.8ක් දක්වා සියයට 22.4කින් අඩු විය.
2026 වසරේ ජූලි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 1.7කින් සුළු වශයෙන් පහළ ගියේය. 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 1,368,288 හා සසඳන විට, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,343,418 ක් විය. මේ අතර, 2026 වසරේ ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 286ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 10.3ක පහළ යෑමක් පෙන්නුම් කළ ද, 2026 වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 88.9ක වර්ධනයකි. 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 1.8ක් දක්වා සියයට 11.5කින් අඩු විය.
2026 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 778ක් වූ අතර, එය 2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 11.5ක ඉහළ යෑමකි. 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත ප්‍රේෂණ ලැබීම් එ.ජ. ඩොලර් බිලියන 5.4ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 21.4කින් ඉහළ ගියේය.
2026 වසරේ ජූලි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 159.4ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 6.3ක සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
මහ බැංකුව විසින් සිදු කළ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව දළ නිල සංචිත 2026 වසරේ ජූලි මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 6.6ක් විය.
2026 වසරේ අගෝස්තු මස අවසානය දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 5.5කින් අවප්‍රමාණය විය. සමස්තයක් ලෙස අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද, මෑතක දී ක්‍රියාත්මක කරන ලද මුදල්, රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති පියවරවල බලපෑම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දී ශ්‍රී ලංකා රුපියලෙහි යම් අතිප්‍රමාණය වීමක් දක්නට ලැබුණි.








