ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගියේය. බිටුමන් (තාර) හිඟය වැනි අමුද්‍රව්‍ය සැපයීමේ බාධා පැවැතියද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
නව ව්‍යාපෘති අඛණ්ඩව ප්‍රදානය වීම ජූලි මාසයේ දී නව ඇණවුම් දර්ශකය තවදුරටත් වර්ධනය වීමට දායක විය. ජූලි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය ශක්තිමත් වුවද, පවතින පුහුණු සේවක හිඟය පිළිබඳව බොහෝ සමාගම් විසින් දිගින් දිගටම වාර්තා කරන ලදී. ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය ජූලි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. එසේ වුවද, අමුද්‍රව්‍ය හිඟය සහ එම මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් විසින් තවදුරටත් අවධාරණය කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජූලි මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.
අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයා ගැනීමේ හැකියාව පිළිබඳ අවිනිශ්චිතතාවයන් පැවතුණද, ඉදිරියට ලැබීමට නියමිත ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පැවතුණි.








