2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.
මෙම වාර්තාව මූලික වශයෙන් 2026 වසරේ ජූලි මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකළ ඇගයීම් මත පදනම් වේ.
සුවිශේෂී කරුණු
- අඩු මට්ටම්වල සිට තීව්‍ර ලෙස ඉහළ ගිය මතුපිට උද්ධමනය, නුදුරු කාලයේ දී තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමෙන් අනතුරුව 5% ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි පුරෝකථනය කෙරේ.
- උද්ධමනකාරී පීඩන පාලනය කිරීම සහ උද්ධමන අපේක්ෂා විතැන් වීම සඳහා පැවතිය හැකි අවදානම අවම කිරීමේ අරමුණින් මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කළේය.
- මෑතකාලින ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් පෞද්ගලික අංශයේ ණය වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එල්ල වන බලපෑම් හමුවේ වුව ද විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවතී.
- භූ දේශපාලනික සහ කාලගුණික අවිනිශ්චිතතා හේතුවෙන් අවදානම් මතු විය හැකි වුව ද ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම බොහෝ දුරට ස්ථායීව පවතී.
මාර්ගගත ප්‍රකාශනයක් වන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ පහත සබැඳියෙන් ලබා ගත හැකිය https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/ආර්ථික-සහ-මූල්‍ය-වාර්තා/මුදල්-ප්‍රතිපත්ති-වාර්තා








