ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසවල දී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
පසුගිය මාසයේ වාර්තා වූ ඉහළ ව්‍යාපෘති ප්‍රදානය කිරීම්වලට පසුව, ජුනි මාසය තුළ දී නව ඇණවුම් දර්ශකය අඩු වේගයකින් වුවද තවදුරටත් වර්ධනය විය. ඉදිකිරීම් සමාගම් විසින් සේවක බඳවා ගැනීම් තවදුරටත් වැඩි කිරීමත් සමඟ සේවා නියුක්ති දර්ශකය ජුනි මාසයේ දී ඉහළ ගියේය. කෙසේ වෙතත්, පවතින පුහුණු සේවක හිඟය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් අවධාරණය කළහ. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයත් සමඟ තොග මිලදී ගැනීම් දර්ශකය ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය. එසේ වුවද, විශේෂයෙන්ම බිටුමන් (තාර) වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල පවතින හිඟය ඉදිකිරීම් කටයුතුවල වේගය සීමා කිරීමට හේතු වූ බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් වාර්තා කළහ. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේදී ද ඉහළ මට්ටමක පැවතුණි.
අමුද්‍රව්‍ය හිඟවීමේ අවදානමත් සමග ක්ෂේත්‍රයේ වර්ධනයට ඇති බාධාවන් හමුවේ වුවද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉදිරි කාර්තුව සඳහා ඉදිකිරීම් සමාගම්වල ව්‍යාපාරික අපේක්ෂා ධනාත්මකව පවතියි








