ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2026 ජුනි

2026 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජුනි මාසයේ දී 53.0ක අගයක් වාර්තා කළේය. මැයි මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඩු වේගයකින් වුව ද සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙමගින් පෙන්නුම් කරයි.

පසුගිය මාසයට සාපේක්ෂව ලැබුණු නව ඇනවුම් ප්‍රමාණය බොහෝ දුරට නොවෙනස්ව පැවතීම හේතුවන් ජුනි මාසයේදී නව ඇනවුම් උප දර්ශකය කඩඉම් මට්ටමේ ම පැවතුණි. ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ සිදුවූ වර්ධනය හේතුවෙන් නිෂ්පාදන උප දර්ශකය තවදුරටත් වර්ධනය විය. සේවා නියුක්ති උප දර්ශකය කඩඉම් මට්ටම ආසන්නයේ පැවති අතර, එමගින් පෙර මාසය හා සමාන බඳවා ගැනීමේ ප්‍රවණතාවන් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් දිගු කලක් තිස්සේ පවතින පුහුණු ශ්‍රමික හිඟය සහ ඉහළ යන සේවක පිරිවැය අවධාරණය කරන ලදී. තොග මිලදී ගැනුම් උප දර්ශකය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ යෑම මගින් පවතින අවිනිශ්චිත සැපයුම් වාතාවරණය හමුවේ හැකි සැමවිටම තොග රැස්කර ගැනීමට ආයතන මගින් ගන්නා උත්සාහය පිළිබිඹු කරයි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හා සම්බන්ධ අභියෝගාත්මක පරිසරය හේතුවෙන් යම් බලපෑමකට ලක් වුව ද, නිෂ්පාදන කටයුතු සම්බන්ධ ඉදිරි අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතියි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජූනි මාසයේ දී දර්ශකාංක 58.5ක අගයක් වාර්තා කළේය.

පුළුල් ආංශික වැඩිදියුණු වීම්වල සහාය ඇතිව, 2026 ජූනි මාසයේ දී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් වර්ධනය විය. ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ වෘත්තීය සේවා උප අංශ මෙම වර්ධනය සඳහා හේතු වූ අතර, රක්ෂණ අංශයේ වාර්තා වූ සැලකිය යුතු වර්ධනය ද ඒ සඳහා දායක විය.

2026 ජූනි මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා අංශයේ වර්ධනය හේතු විය. රක්ෂණ, වෘත්තීය සේවා සහ අනෙකුත් පුද්ගලික සේවා අංශ ද මෙම වර්ධනයට හේතු විය.

ආයතන කිහිපයක් සිය ශ්‍රම බලකාය පුළුල් කිරීම හේතුවෙන් 2026 ජූනි මාසයේ දී සේවා නියුක්තිය ඉහළ ගියේය. මේ අතර, මැයි මාසයේ දී පහත වැටුන නිම කිරීමට නියමිත කාර්යයන් උප දර්ශකය, ජූනි මාසයේ දී කඩඉම් සීමාවට ළඟා වීමත් සමඟ නොවෙනස්ව පැවතුණි.

ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ධනාත්මක මට්ටමක පැවති අතර, අපේක්ෂිත ආර්ථික වැඩිදියුණු වීම් සහ එළඹෙන මහනුවර ඇසළ පෙරහැර සමය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, පුළුල් ගෝලීය අවිනිශ්චිතතාවයන් තවදුරටත් මෙම ඉදිරි දැක්මට අවදානම් එල්ල කරයි.

PDF

Published Date: 

Wednesday, July 15, 2026