ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී ඩබ් ඩී එන් ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.
පළමුව 2025.07.04 දිනැති අංක 2443/57 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය අනුව 2025.07.04 දින සිට පත් කරන ලද රොද්‍රිගෝ මහතා, 2026.07.04 සිට 2027.01.03 දක්වා තවත් මාස හයක (06) කාලයක් සඳහා අද්මිනිස්ත්‍රාසි ධුරයේ කටයුතු කරනු ඇත.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නිරාකරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සහතික කිරීමට මෙම තීරණය ගෙන ඇත. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතට අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අද්මිනිස්ත්‍රාසිකරුට තවදුරටත් කාලය අවශ්‍ය වේ.
ධුර කාලය දීර්ඝ කළ කාලසීමාව තුළ, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ වත්කම්, මෙහෙයුම් සහ කටයුතු සම්බන්ධ පූර්ණ පාලනය අද්මිනිස්ත්‍රාසිකරු යටතේ පවතිනු ඇති අතර, ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ කටයුතු ද අඛණ්ඩ ව සිදු කරනු ඇත. එමෙන් ම අද්මිනිස්ත්‍රාසිකරු, ව්‍යවස්ථාපිත අවශ්‍යතා අනුව අදාළ සමාගම සම්බන්ධයෙන් අවශ්‍ය වන වාර්තා සහ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු ය.
නිරාකරණ අධිකාරිය වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පතුකරුවන්ගේ අභිලාෂයන් සුරක්ෂිත කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයේ පියවරක් වශයෙන් මෙම තීරණය ගෙන ඇත.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ඇති ගිවිසුම්ගත බැඳීම් අදාළ ගිවිසුම්වලට අනුකූල ව නියමිත කාලයේ දී ආයතනයේ නමින් ඇති බැංකු ගිණුම් හරහා පමණක් ඉටු කරන ලෙසත්, සියලුම ගෙවීම්වල වාර්තා තබා ගන්නා ලෙසත් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් මූල්‍ය බැඳීම් ඇති සියලු ම පාර්ශවයන්ට දැනුම් දෙනු ලැබේ. එමෙන් ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක් ව කටයුතු කරන ලෙස නේෂන් ලංකා පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.








