විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 මැයි

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මත මැදපෙරදිග යුද්ධයේ බලපෑම තවදුරටත් දක්නට ලැබුණු අතර, 2026 වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව දෙවන මාසයටත් විදේශීය ජංගම ගිණුම් හිඟයක් වාර්තා විය. 

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක් පැවතිය ද, ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා අංශයේ අතිරික්තය අඩු වීම හේතුවෙන් 2026 වසරේ මැයි මාසයේ දී විදේශීය ජංගම ගිණුමෙහි එ.ජ. ඩොලර් මිලියන 194 ක හිඟයක් වාර්තා විය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශීය ජංගම ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් මිලියන 97ක් ලෙස වාර්තා විය.

අපනයන ආදායමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම නිසා 2026 වසරේ මැයි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ ජනවාරි-මැයි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත වෙළඳ හිඟය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ පැවති එ. ජ. ඩොලර් බිලියන 2.7ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 4.7ක් දක්වා පුළුල් විය.

2026 වසරේ මැයි මාසයේ දී ඉන්ධන ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 112කින් එ. ජ. ඩොලර් මිලියන 536ක් දක්වා ඉහළ ගිය අතර, ඒ සඳහා තෙල් මිල සහ ආනයන පරිමාවන් ඉහළ යාම හේතු විය. කෙසේ වෙතත්, 2026 වසරේ මැයි මාසයේ දී ඉන්ධන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5කින් අඩු විය.

2026 වසරේ මැයි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම, 2026 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 20.0කින් එ.ජ. ඩොලර් මිලියන 250ක් දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව 2026 වසරේ ජනවාරි-මැයි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,071ක් විය.

2026 වසරේ මැයි මාසයේ දී ආනයන මිල ගණන්වල වැඩිවීම අපනයන මිල ගණන්වල වැඩිවීමට වඩා වේගවත් වූ බැවින්, 2026 වසරේ මැයි මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. ඒ හා සමානව, 2026 වසරේ ජනවාරි-මැයි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ වෙළඳ මිල අනුපාතය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පහළ ගියේය.

සේවා ගිණුම වෙත වූ ලැබීම්වලට සාපේක්ෂව සේවා ගිණුමෙන් වූ ගෙවීම්වල ඉහළ වර්ධනය පිළිබිඹු කරමින්, 2026 වසරේ මැයි මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 36.8ක අඩු වීමක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් මිලියන 143ක් දක්වා අඩු විය. 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත අතිරික්තය ද 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20.8කින් අඩු විය.

2026 වසරේ මැයි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 9.6ක වර්ධනයක් වාර්තා කළ අතර, වසරේ මුල් මාස පහ තුළ දී සමස්ත සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවා ගියේය. 2026 වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 5.1ක පහළ යෑමක් පිළිබිඹු කරමින් එ.ජ. ඩොලර් මිලියන 156ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. තවද, 2026 වසරේ මුල් මාස පහ තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වූ අතර එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 11.9ක පහළ යෑමකි. 

මෑත මාසවල දී දක්නට ලැබුණු හිතකර ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, 2026 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  එ.ජ. ඩොලර් මිලියන 847ක් විය. වසරේ පළමු මාස පහ තුළ දී සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 3.9ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 26.0කින් වර්ධනය විය.

2026 වසරේ මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 60ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 23ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ණය සේවාකරණ ගෙවීම් සහ මහ බැංකුව විසින් සිදු කළ විදේශ විනිමය ශුද්ධ විකිණීම් හමුවේ වුවද, විස්තීර්ණ ණය පහසුකම යටතේ ඒකාබද්ධව ලබා දෙන ලද හයවන සහ හත්වන වාරික ලැබීමේ සහායෙන්, 2026 වසරේ මැයි මස අග වන විට චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.9ක් විය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඇති වන විදේශීය අංශයේ පීඩනයන් පිළිබිඹු කරමින්, 2025 වසර අවසානයේ සිට 2026 වසරේ ජුනි මස අවසානය දක්වා කාලය තුළ දී, ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් අවප්‍රමාණය විය. මෙම අවප්‍රමාණය වීම, කලාපීය රටවල මුදල් ඒකකයන්හි දක්නට ලැබුණු අවප්‍රමාණය වීම්වලට සමගාමී විය.

PDF

Published Date: 

Tuesday, June 30, 2026