2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) හා 7(1)ඕ වගන්ති ප්‍රකාර ව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025’ වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා විසින් අතිගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අද දින, එනම් 2026 අප්‍රේල් 20 වන දින පිළිගන්වන ලදි.
අන්තර්ගතය පිළිබඳ සටහන:
‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025’ වාර්තාව මඟින් 2025 වසරේ මහ බැංකුවේ ආයතනික කාර්යසාධනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කෙරෙයි. මෙහෙයුම් තොරතුරු, මූල්‍ය ප්‍රකාශ සහ අතිරේක තොරතුරු යනුවෙන් ප්‍රධාන පරිච්ඡේද තුනකින් මෙම ප්‍රකාශනය සමන්විත වේ. ඊට අමතර ව ගෙවුණු වසර 75ක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් කටයුතුවල විකාශය සිදු වූ ආකාරය පිළිබඳ විශේෂ සටහන් ද මෙම ප්‍රකාශනයට ඇතුළත් වේ.
මෙහෙයුම් තොරතුරු පරිච්ඡේදය මඟින් මහ බැංකුවේ උපායමාර්ගය, දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීම යන මහ බැංකුවේ ප්‍රධාන වගකීම්, ගෙවීම් සහ පියවීම් පද්ධතිය අධීක්ෂණය, ව්‍යවහාර මුදල් මෙහෙයුම් කළමනාකරණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අන්තර්ජාතික කටයුතු, නියෝජිත කාර්යයන් ඇතුළු පවරන ලද වෙනත් වගකීම් සහ ආයතනික අභ්‍යන්තර කළමනාකරණය පිළිබඳ තොරතුරු පැහැදිලි කෙරෙයි.
මූල්‍ය ප්‍රකාශන පරිච්ඡේදය මඟින් ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූල ව සකස් කරන ලද 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ එයට අදාළ ස්වාධීන විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කෙරෙයි. 2025 වසරේ මහ බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ විශ්ලේෂණයක් සපයන මූල්‍ය විවරණයක් ද මෙම පරිච්ඡේදයෙහි ඇතුළත් වේ.
අතිරේක තොරතුරු පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පිළිබඳ විස්තර සහ මහ බැංකුව මඟින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ආයතන පිළිබඳ ව තොරතුරු සපයයි.








