ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 ජූලි මාසයේ දී වාර්තා වූ 75.7ක උපරිම අගයෙන් පසු වාර්තාගත දෙවන ඉහළම අගය වේ. 2026 වසර ආරම්භය සමග නව ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වීම හා කාලගුණික තත්ත්වය වඩා යහපත් වීම ජනවාරි මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම් ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ අංශවල ව්‍යාපෘති සුලබ වීම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය ජනවාරි මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද, සේවක බඳවාගැනීම් ඉහළ යෑම පෙන්නුම් කරමින් සේවා නියුක්ති දර්ශකය ද මාසය තුළ දී ඉහළ ගියේය. කෙසේ වෙතත්, විවිධ නිපුණතා කාණ්ඩ සඳහා පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී නිරන්තරයෙන් පවතින අභියෝග පිළිබඳව බොහෝ ආයතන විසින් අවධාරණය කරන ලදී. සැලසුම් කළ ව්‍යාපෘති සඳහා තොග රැස්කර ගැනීම හේතුවෙන් තොග මිලදී ගැනුම් දර්ශකය ද ජනවාරි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ ද ඉහළ මට්ටමක පැවතුණි.








