ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 අගෝස්තු

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය. 2017 අගෝස්තු මාසයේ දී 54.4ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ජූලි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 0.1ක සුළු වර්ධනයකි. මෙම ඉහළ යෑම කෙරෙහි ඉදිරියේ දී සැපයීමට නියමිත නව ඇණවුම් සඳහා අවශ්‍ය තොග මිල දී ගැනීම් මෙන් ම නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම නිසා තොග එක් රැස් වීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ඉහළ යෑම ද ප්‍රධාන වශයෙන් දායක විය. ආයතනවලට විශේෂිත වූ ගැටළු හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යන ලදි. සේවය හැර යන ශ්‍රමිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ අපහසුතාව හේතුවෙන් විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ව සේවා නියුක්ති උප දර්ශකය පහළ යන ලදි. කෙ සේ වුව ද, සේවා නියුක්ති උප දර්ශකය හැර සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ධනාත්මක අගයක් වාර්තා කරයි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය. 2017 ජූලි මාසයේ දී වාර්තා වූ 59.1ක දර්ශක අගයට සාපේක්ෂ ව අගෝස්තු මාසයේ දී 60.1ක දර්ශක අගයක් වාර්තා කරන ලදි. 2017 ජූලි මාසයට සාපේක්ෂ ව අගෝස්තු මාසයේ දී නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් මගින් සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යන ලදි. 2017 ජූලි මාසයට සාපේක්ෂ ව 2017 අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිය අඩු වේගයකින් වර්ධනය වූ අතර නිම කිරීමට ඇති කාර්යයන් පහළ යන ලදි. තම සේවාදායකයන්ට ඉහළ කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නව තාක්ෂණික ක්‍රමෝපායයන් හඳුන්වා දීම / ව්‍යාප්ත කිරීම තුළින් මූල්‍ය සහ සන්නිවේදන අංශ නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් වර්ධනය සඳහා දායක විය. නවාතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ද වර්ධනයක් දක්නට ලැබුණි. අය කරන මිල ගණන් උප දර්ශකය ඉහළ ගිය අතර මෙහි දී සෘතුමය ඉල්ලුම හේතුවෙන් නවාතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයේ සිදු වූ ඉහළ යෑම කැපී පෙනුණි. මේ අතර 2017 අගෙ‍ා්ස්තු මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය උප දර්ශකය පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, September 15, 2017