'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2017' ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2017' වාර්ෂික ප්‍රකාශනයේ 40 වැනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. 

පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකා‍ශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු අංශවල නවතම දත්ත ඇතුළත් වේ. 

කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්‍රකාශනයේ සාරාංශ කර ඇති බැවින් එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයින්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 

කොළඹ 1, චැතම් වීදියේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටි මහ බැංකු ප්‍රකාශන අලෙවි කවුළුවෙන් ද, රාජගිරියේ  ජයවර්ධන මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි බැංකු විදු පියසෙන් ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලින් ද මෙම ප්‍රකාශනය රුපියල් 50.00ක මුදලකට මිල දී ගත හැක. තව ද, විද්‍යුත් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැක. 

Published Date: 

Friday, September 15, 2017