2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන ප්‍රකාශනය නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2017' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ දත්ත ද මෙහි අඩංගු ය. 

තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයෙහි ඇත්ළත් වේ. දත්ත භාවිත කරන්නන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි විවිධාකාරයෙන් මෙම ප්‍රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇත. ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවණතාවන් හැදෑරීමට උපකාරී වන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගත වී ඇති අතර මෙම ප්‍රකාශනය ව්‍යවසායකයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට, පර්යේෂකයින්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයින්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 

Published Date: 

Monday, August 28, 2017