නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කිරීම

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සී ජේ පී සිරිවර්ධන මහතා 2017 අගෝස්තු මස 19 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත් කර ඇත. 

සී ජේ පී සිරිවර්ධන මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳ ව විශේෂ පලපුරුද්දක් දරයි. සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන සහ නිරීක්ෂණ, ගෙවීම් සහ පියවීම් සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය.

සිරිවර්ධන මහතා එක්සත් රාජධානියේ වෝරික් විශ්වවිද්‍යාලයෙන් (University if Warwick) ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද රුහුණ විශ්වවිද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ගෙන ඇත. සිරිවර්ධන මහතා ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කර ඇත. ඒ මහතා මේ වන විට ලංකාක්ලියර් පෞද්ගලික සමාගමේ සහ සීමාසහිත කොළඹ නැව් තටාකාංගන සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. සිරිවර්ධන මහතා ලංකා විදුලි බල මණ්ඩලය, ප්‍රොවිඩන්ට් ප්‍රොපර්ටි ලංකා ලිමිටඩ් සහ කඳුරට සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල නිරීක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇත. තව ද, සිරිවර්ධන මහතා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ ජාතික සහ ජාත්‍යන්තර සමුළු රැසකට සහභාගී වී ඇත. තම දිගු කාලීන මහ බැංකු සේවා කාලය කුළ ඒ මහතා අවදානම් කලමනාකරණය, ණය කළමනාකරණය, ආයෝජන කළමනාකරණය, මූල්‍ය ස්ථායිතාව, මුදල් ප්‍රතිපත්තිය, නායකත්වය සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. විශේෂයෙන් ම ණය කළමනාකරණය සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි තත්ත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සිරිවර්ධන මහතා විසින් නව හඳුන්වා දීම් සිදු කර ඇති අතර සුවිශේෂී දායකත්වයක් සපයා ඇත. මුදල් ප්‍රතිපත්ති කමිටුව (MPC), මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව (FSSC), අන්තර් නියාමන ආයතන කමිටුව (IRIC) සහ මූල්‍ය නො වන අවදානම් කළමනාකරණ කමිටුව (NFRMC) යනාදියෙහි සාමාජිකයෙකු ලෙස සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා විශාල දායකත්වයක් සපයා ඇත. 

සිරිවර්ධන මහතා පිළි ගත් දේශීය සහ ජාත්‍යන්තර සඟරා සඳහා රාජ්‍ය මූල්‍ය, ණය කළමනාකරණය සහ බැඳුම්කර වෙළෙඳපොළ සංවර්ධනය පිළිබඳ ව ලිපි රැසක් ලියා පළ කර ඇත. ඒ මහතා විවිධ තරාතිරමේ සමුළුවල නිත්‍ය දේශකයෙකු ලෙස කටයුතු කරන අතර මලයාසියාවේ අග්නිදිග ආසියාතික මහ බැංකු පර්යේෂණ සහ පුහුණු කේන්ද්‍රයෙහි (SEACEN Research and Training Centre) පීඨ සභිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. 

 

Published Date: 

Monday, August 21, 2017