ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූලි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූලි මාසයේ දී 54.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 ජූනි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි පසුගිය මාසය තුළ එක් රැස් කර ගත් තොග භාවිතය හේතුවෙන් ගැනුම් තොග දර්ශකයේ පහළ යෑම මෙන් ම සේවය හැර යන ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකය පහළ යෑම ද බලපාන ලදි. නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වූ අතර නිෂ්පාදන උප දර්ශකය පසුගිය මාසයේ වාර්තා කළ මට්ටමේ ම පැවැතුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී වාර්තා වූ 59.2ක දර්ශක අගයට සාපේක්ෂ ව ජූලි මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලදි. 2017 ජූනි මාසයට සාපේක්ෂ ව ජූලි මාසයේ දී සුළු වශයෙන් අඩු වර්ධනයක් පෙන්නුම් කළ ද ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ සේවා නියුක්ති උප දර්ශක මගින් සේවා අංශයෙහි අඛණ්ඩ වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යන ලදි. 2017 ජූනි මාසයට සාපේක්ෂ ව නිම කිරීමට ඇති කාර්යයන් ද පහළ යන ලදි. තම සේවාදායකයන්ට ඉහළ කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නව තාක්ෂණික ක්‍රමෝපායයන් හඳුන්වා දීම ව්‍යාප්ත කිරීම තුළින් මූල්‍ය අංශය නව ව්‍යාපාර උප දර්ශකයෙහි වර්ධනය සඳහා දායක විය. තව ද, සංචාරක පැමිණීම්වල සිදු වූ වර්ධනය හේතුවෙන් නවාතැන් සහ ආහාර පාන සැපයීමේ අංශයෙහි ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර ඉදිරි මාස තුන සඳහා ද ධනාත්මක අපේක්ෂාවක් පෙන්නුම් කරන ලදි. උත්සව සමයක් සමඟ ඇති වන විශේෂ ඉල්ලුම් ඉහළ යෑමක් නො පැවතීම හේතුවෙන් ජූනි මාසයට සාපේක්ෂ ව 2017 ජූලි මාසයේ දී අය කරන මිල ගණන් උප දර්ශකය ඉහළ ගියේ ය. එ සේ වුව ද, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සියයට 6.28කින් බස් ගාස්තු ඉහළ දමන ලදි. මේ අතර, 2017 ජූලි මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය උප දර්ශකය පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, August 15, 2017