2017 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 මැයි මාසයේ දී සිදු කරන ලද 11 වැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ සැලකිය යුතු ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. 2017 අප්‍රේල් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.0ක් වූ දළ නිල සංචිත 2017 මැයි මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් දක්වා ඉහළ යෑමට මෙම ලැබීම් හේතු විය. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් හුවමාරුව වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වෙතත්, වෙළෙඳ හිඟය පුළුල් වීම සහ සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතීම හේතුවෙන් ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුම මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු කළේ ය. අපනයන ආදායම අඛණ්ඩ ව තුන් වැනි මාසයටත් ඉහළ ගිය ද, ආනයන වියදමෙහි ඉහළ වැඩිවීම හේතුවෙන් වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. සමස්තයක් ලෙස, ධනාත්මක ආයෝජන අපේක්ෂා නිසා මූල්‍ය ගිණුම වෙත අපේක්ෂිත අඛණ්ඩ ලැබීම් සහ ජංගම ගිණුමේ අපේක්ෂිත ක්‍රමික වර්ධනය හේතුවෙන් 2017 වසරේ දෙවන භාගයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය වෙත ධනාත්මක බලපෑමක් ඇති වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, August 1, 2017