2017 ජූනි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මැයි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 7.1 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේ ය. 2017 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී පසුගිය මාසයේ දී පැවැති සියයට 6.1 හි නො වෙනස් ව පැවැතුණි.

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 මැයි මාසයේ වාර්තා වූ දර්ශක අංක 121.8 සිට 2017 ජූනි මාසයේ දී දර්ශක අංක 123.4 දක්වා ඉහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම, මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ එළවළු, සහල්, මාළු, අමු මිරිස්, රතුළුෑණු, කරවල (හාල්මැස්සන්) සහ කුකුල් මස් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු (ගෘහ සේවක වැටුප් සහ රියැදුරු වැටුප්); විවිධ භාණ්ඩ හා සේවා; සහ රෙදිපි‍‍ළි හා පාවහන්‍ උප කාණ්ඩයන්හි ඇතුළත් අයිතමවල මිල ගණන් ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ  පුවක් උප කාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගණන් ද 2017 ජූනි මාසය තුළ දී ඉහළ ගියේ ය. සෞඛ්‍ය උප කාණ්ඩයෙහි මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; ප්‍රවාහන‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; සහ ආපනශාලා සහ හෝටල්; උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවතිණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මැයි මාසයේ දී පැවති සියයට 4.7 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය. මෙම පහළ යෑමට නිතර මිල උච්ඡාවචන සහිත ආහාර අයිතම, බලශක්ති සහ ප්‍රවාහන කාණ්ඩයන් හැර අනෙකුත් අයිතමවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2017 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 6.4 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 21, 2017