ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජූනි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී 56.1ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ යම් පමණකට වූ බලපෑම මත නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ පහළ යෑම 2017 ජූනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග මට්ටම ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය සුළු වශයෙන් පහළ යන ලදී. කෙ සේ වුව ද, පසු ගිය මාසයේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂ ව සේවා නියුක්ති උප දර්ශකය මෙම මාසය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කරන ලදී. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 මැයි මාසයේ දී වාර්තා වූ 55.3ක දර්ශක අගයට සාපේක්ෂ ව ජූනි මාසයේ දී, 59.2ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. සේවා අංශයෙහි මෙම වර්ධනයට  නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් හේතු විය.  2017 මැයි මාසයට සාපේක්ෂ ව නිම කිරීමට ඇති කාර්යයන් සුළු වශයෙන් පහළ යන ලදී. මූල්‍ය අංශය තම සේවාදායකයන්ට සේවා සැපයීම සඳහා නව තාක්ෂණික ක්‍රමෝපායයන් භාවිත කිරීම නව ව්‍යාපාර උප දර්ශකයෙහි වර්ධනය සඳහා දායක විය. ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකයෙහි සිදු වූ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අංශය දායක විය. දේශීය සහ විදේශීය සංචාරක කටයුතුවල අපේක්ෂිත වර්ධනය හේතුවෙන් නවාතැන් සහ ආහාරපාන සැපයීමේ අංශයෙහි ඉදිරි මාස තුනෙහි ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් අපේක්ෂා කෙරේ. උත්සව සමයක් සමඟ ඇති වන විශේෂ ඉල්ලුම් ඉහළ යෑමක් නො පැවතීම හේතුවෙන් මැයි මාසයට සාපේක්ෂ ව 2017 ජූනි මාසයේ දී අය කරන මිල ගණන් උප දර්ශකය නො වෙනස් ව පැවතුණි. මේ අතර, සේවා නියුක්ති මට්ටම ඉහළ යෑම හේතුවෙන් 2017 ජූනි මාසයේ දී අපේක්ෂිත ශ්‍රම පිරිවැය සුළු වශයෙන් ඉහළ ගියේ ය.  

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 14, 2017