මූල්‍ය අන්තර්ගතභාවය

මූල්‍ය අන්තර්ගතභාවය යනු සමාජයේ සියලු කණ්ඩායම් වලට ගුණාත්මක සහ ඔවුන්ට ගැලපෙන මූල්‍ය නිෂ්පාදන හා සේවාවන්ට ප්‍රවේශ වීමට සහ ඒවා භාවිතා කිරීමට හැකිවීම සහතික කිරීමයි. මෙය අන්තර්ගතභාවය සහ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම ව්‍යවස්ථාපිත වගකීමක් ලෙස පැහැදිලිව සඳහන් කර ඇති අතර එය මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම කෙරෙහි මහ බැංකුවේ උපාය මාර්ගික අවධානය තවදුරටත් ශක්තිමත් කෙරේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාවේශන දෙපාර්තමේන්තුව මෙම වගකීම ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාතික මට්ටමේ විවිධ පාර්ශවකරුවන් සමඟ සහයෝගිතාවයෙන් යුතුව ය. මෙම පසුබිම යටතේ “වඩාත් ඉහළ ජීවන තත්ත්වයක් උදෙසා ගුණාත්මක මූල්‍ය අන්තර්ගතභාවයක්” යන දැක්ම යටතේ මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන බහුපාර්ශවීය මුලපිරීමක් ලෙස 2021-2024 වර්ෂ සඳහා ශ්‍රී ලංකාව සඳහා වූ පළමු මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය දියත් කරන ලදී.

මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ ලේකම් කාර්යාලය 2021 වර්ෂයේ දී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව (වර්තමානයේ මූල්‍ය සමාවේශන දෙපාර්තමේන්තුව) තුළ ස්ථාපිත කරනු ලැබූ අතර එය මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි පාලන ව්‍යූහයට සහය දක්වමින් රාජ්‍ය අමාත්‍යාංශ, මූල්‍ය අංශයේ නියාමන ආයතන, මූල්‍ය ආයතන සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය අතර සහයෝගිතාවය ඇති කිරීම සඳහා පහසුකම් සපයමින් මධ්‍යම සම්බන්ධීකරණ සහ තාක්ෂණික ආයතනයක් ලෙස ක්‍රියාකරයි.

මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය මඟින් අවධානය යොමු කරනු ලබන මූලික ක්ෂේත්‍ර වනුයේ 

(i) ඩිජිටල් මූල්‍ය හා ගෙවීම්,

(ii) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායී මූල්‍ය,

(iii) පාරිභෝගික ආරක්ෂණය සහ

(iv) මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම.

මෙම අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර සඳහා දත්ත, යටිතල පහසුකම් සහ ප්‍රතිපත්ති නියාමන සහ අධීක්ෂණය යන ප්‍රධාන සක්‍රීය සාධක මඟින් සහය දක්වනු ලබයි. 

මූල්‍ය සමාවේශන දෙපාර්තමේන්තුව විසින් ජාතික මූල්‍ය අන්තර්ගතභාවයෙහි විෂයපථය නිරන්තරයෙන් සමාලෝචනය කරමින් මූල්‍ය අන්තර්ගතභාවයට ඇති ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන ඒවා විසඳීම සඳහා අදාල පාර්ශවකරුවන් සමඟ එක්ව ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කර ක්‍රියාත්මක කරයි. 

මූල්‍ය අන්තර්ගතභාවයේ ඉතා වැදගත් අංගයක් ලෙස මූල්‍ය සාක්ෂරතාවය හඳුනාගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රාදේශීය කාර්යාල වල සහය ඇතිව රටපුරා මූල්‍ය ශක්‍යතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය සංවර්ධනය කර ක්‍රියාත්මක කරනු ලබයි. 

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සපයන ලද ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම අත්හිටුවන ලද අතර පාලක මණ්ඩලය විසින් පසුකාලීනව ගත් ප්‍රතිපත්ති තීරණ අනුව රජය සහ ආධාර සපයන රජයේ නියෝජිත ආයතන මඟින් අරමුදල් සපයන සහනදායී ණය යෝජනා ක්‍රම භාණ්ඩාගාරයට පැවරීම හෝ අදියරයෙන් අදියර අත්හිටුවීම සිදුකෙරෙයි. ඒ  අනුව  දැනට ක්‍රියාත්මකව පවතිනුයේ ණය යෝජනා ක්‍රම තුනක් වන අතර ඒවා අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත. 

මූල්‍ය අන්තර්ගතභාවයට අදාල වැදගත් ලිපිලේඛන

දිනය

ලේඛනයේ නම 

2021 මාර්තු

ශ්‍රී ලංකාව සඳහා වූ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබව ජාතික උපාය මාර්ගය (2021-2024) 

2022 ඔක්තෝබර්

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණය - 2021

2024 මැයි

ශ්‍රී ලංකාව සඳහා වූ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය 2024-2028

2025 ජූලි

මූල්‍ය සාක්ෂරතා විෂයමාලාව